දුම්රිය පාලනාධිකාරියෙන් පොලීසියට පැමිණිල්ලක්

දුම්රිය සේවක වර්ජනය ගැන පොලීසියට පැමිණිල්ලක්

by Staff writer 28-06-2019 | 9:27 AM
COLOMBO (News 1st): අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය පිළිබඳ පොලීසියට පැමිණිලි කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඒ අනුව හදිසි නීති රෙගුලාසි කඩ කිරිමේ චෝදනාවට වර්ජනයේ නිරත සේවකයින්ට එරෙහිව අධිකරණය මගින් අවශ්‍ය ක්‍රියාමර්ග ගන්නා බව ය. මේ අතර වර්ජනය පැවතිය ද මහනුවර, රඹුක්කන, මාතර, ගාල්ල, මහව, හලාවත සහ අවිස්සාවේල්ලේ සිට අද උදෑසන දුම්රිය 7ක් කොළඹ කොටුව දක්වා ධාවනය කිරිමට පියවර ගත් බව දුම්රිය ගමනා ගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සතියේ දිනයකදී දුම්රිය කාල සටහන් අනුව උදෑසන දුම්රිය ගමන්වාර 48 ක් ධාවනය කළ යුතුව තිබුණ ද වර්ජනය හේතුවෙන් එය 7 කට සීමා කිරිමට සිදු වූ බව ය. මේ අතර, විශ්‍රාමික නිලධාරීන්ගේ දායකත්වය ලබා ගනිමින් අද පස්වරුවේ වැඩි දුම්රිය වාර සංඛ්‍යාවක් ධාවනය කිරිමට සැලසුම් කර ඇති බව ද දුම්රිය ගමනාගමන අධිකාරිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රේණි කිහිපයක වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බල කරමින් තමන් ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය මේ වනවිට සාර්ථකය ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තිය සමිති පවසයි. වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මකයි.