දුම්රිය සේවකයින් යළි වර්ජනයේ...

දුම්රිය සේවකයින් යළි වර්ජනයේ: විශ්‍රාමික දුම්රිය නිලධාරීන් යළි සේවයට බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ

by Staff writer 28-06-2019 | 6:50 AM

COLOMBO (News 1st) - දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනයෙන් මගීන් රැසක් දැඩි පීඩාවට පත් ව සිටි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රධාන දුම්රිය ස්ථානවලින් අද අලුයම දුම්රිය ධාවනය නොවූ බවයි. මේ හේතුවෙන් දුම්රියෙන් කාර්යාලයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බොහෝ පිරිසක් පීඩාවට පත් ව ඇතැයි ඔවුන් සඳහන් කරති. වැඩවර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී ධාවනය කිරීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය කිහිපයක් ද අවලංගු කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් සේවකයින් මෙම එක්දින වැඩවර්ජනය ආරම්භ කළේ, දුම්රිය සේවයේ පවතින වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙනි. මීට විරෝධය පළ කරමින් පසුගිය බ්‍රහස්පතින්දා දුම්රිය සේවකයින් පැය 48 ක වැඩවර්ජනයක ද නිරත විය. වැඩවර්ජනයට දුම්රිය රියැදුරන්, නියාමකයින් පාලකවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයක සේවකයින් එක් ව සිටියහ. සේවකයින් පැය 24 ක මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණ ද දුම්රිය සේවය මේ වනවිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර අවසන් වේ. ඒ, ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි. මේ අතර වර්ජනයට මුහුණදීම සඳහා විශ්‍රාමික නිලධාරීන් දුම්රිය සේවයට යළි බඳවා ගැනීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. මේ යටතේ විශ්‍රාමික එන්ජින් රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්ෂකයින් සහ මාර්ග පරීක්ෂකයින් යළි සේවයට බඳවා ගැනීමට නියමිතය. ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ අද පෙරවරුවේ සිට නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී සිදු කෙරෙන අතර ඒ සඳහා පැමිණෙන්නැයි ප්‍රවාහන අමාත්‍යංශය විශ්‍රාමික නිලධාරීන්ට දැනුම් දෙයි. දුම්රිය සේවක වර්ජනයෙන් පීඩාවට පත්වන ජනතාවට උපරිම සේවයක් සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.