ගැසට් නිවේදනය නොසලකා වර්ජනයේ නිරත වීම පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගෙන් පැමිණිලි

by Staff writer 28-06-2019 | 10:00 PM
COLOMBO (News 1st) - දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය නොසලකා වර්ජනයේ නිරත වීම පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කොටුව පොලීසියට අද පැමිණිලි කළේ ය. ඒ, අත්‍යවශ්‍ය සේවා පනත අනුව දුම්රිය රියැදුරු, නියාමක, පාලක හා ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමිනි. අද පස්වරුවේ පොලීසිය මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. වර්ජන අවස්ථාවේ සේවයේ යෙදවීමට විශ්‍රාමිකයින් 24 දෙනෙකු නැවත සේවයට බඳවා ගත් බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ ය. හදිසි නීති රෙගුලාසි යටතේ අත්‍යවශ්‍ය සේවයක් ලෙස දුම්රිය ඊයේ ප්‍රකාශයට පත් කළේ ය. නමුත් වෘත්තීය සමිති අදත් සංකේත වර්ජනය ක්‍රියාත්මක කළ අතර උදෑසන ධාවනය වූයේ කාර්යාල දුම්රිය 7ක් පමණි. දුම්රිය කාල සටහන් අනුව සතියේ දිනයක උදෑසන දුම්රිය ගමන්වාර 48ක් ධාවනය වේ. මේ අතර දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර කවුළු, මෙහෙයුම් මැදිරි මුද්‍රා තබා තිබූ අතර දුම්රිය ස්ථානවල ආරක්ෂාව තර කර තිබිණි. අලුයම 5.00ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා දුම්රික් ධාවනය වූ නමුත් ඒ සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් නොකෙරිණි. දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ‍, තම ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් සෑම බ්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත්‍රියේ සිට සිකුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා වැඩ වර්ජනයේ නිරත වන බව ය. උසස් වීම් නිසා ඇති වූ වැටුප් විෂමතා ගැටලුවක් මේ වර්ජනයට හේතු වී තිබේ. බාධාවකින් තොරව සේවා පවත්වාගෙන යාම සඳහා විශ්‍රාමික එන්ජින් රියාදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්ෂකයින් සහ මාර්ග පරීක්ෂකයින් යළි සේවයට බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ අද පෙරවරුවේ සිට නාරාහේන්පිටදී පැවැත්විණි. ප්‍රශ්නයට විසඳුම් දෙන්නට කාලයක් ඉල්ලා තිබියදීත්, දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට ප්‍රකාශ කර තිබියදීත් ජනතාව පීඩාවට පත් කරමින් කෙරෙන වර්ජන සාධාරණ ද?