by Staff writer 27-06-2019 | 9:14 PM
COLOMBO (News 1st) : මාලදිවයින් ජාතිකයින් 19 දෙනෙකු ඝාතනයට ලක්වූ 1988 කුමන්ත්‍රණයේ මහා මොළකරු වන අබ්දුල්ලා ලුත්ෆි මාස 2ක කාලයක් කොළඹ පිහිට මාලදිවයින් තානාපති කාර්යාලයේ රැඳී සිට ඇති බව වාර්තා වේ.
එරට පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ලුත්ෆි මැයි මස 01 දා තානාපති කාර්යාලයට භාර වූ බවයි .
එහෙත් සැකකරු මේ වන විට රැඳී සිටින ස්ථානය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවේ.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ මෙහෙයුම් සිදුකළ කාලය තුළදී , අබ්දුල්ලා ලුත්ෆි , මාලදිවයින් බලධාරීන් වෙත භාර වී ඇති බව වාර්තා වේ.
ලුත්ෆි තානාපති කාර්යාලයේ සැඟව සිටින බව මාලදිවයිනේ හිටපු අභන්තර කටයුතු අමාත්‍ය උමාර් ලතීෆ් සිය ට්විටර් ගිනුමේ පළකළ සටහනෙන් පසුව මේ පිළිබඳව අවධානය යොමුවිය.
නිවුස් ෆස්ට් කළ විමසුමකදී මාලදිවයින් කොන්සියුලර් කාර්යාලය සඳහන් කළේ, මේ පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි බවයි .
එහෙත් , මාලදිවයින් පොලිස් කොමසාරිස් මොහොමඩ හමීඩ් ඉකුත් අඟහරුවාදා පවසා තිබුණේ, අබ්දුල් ලුතීෆ් පැය 24 ක් තුළ මාලදිවයිනට උදර්පනය කිරීම සඳහා පියවර ගන්නා බවයි .
අදාළ පොලිස් නිලධාරීයාගේ ප්‍රකාශය උපුටා දක්වමින් මාලදිවයින් මාධ්‍ය වාර්තා කළේ, අබ්දුල්ලා ලුත්ෆිව එරටට ගෙන්වා ගැනීම සඳහා මෙරට බලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවයි .
කෙසේ වෙතත් ලුත්ෆිව නැවත ගෙන්වා ගැනීමට බදා මතුව ඇති බව ද එරට පොලිස් කොමසාරිස්වරයා සඳහන් කර තිබේ.
ඒ එක්සත් ජාතීන්ගෙන් ආරක්ෂාව පතා සකස් කළ ලියවිලි කිහිපයක් ඔහු සතුව තිබීම හේතුවෙනි .
ලුත්ෆි නැවත එරටට ගෙන්වා ගැනීමට බාධා ඇතැයි යන්න එය මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබිණ.
අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අදාළ සැකකරු පිළිබඳව ශ්‍රී ලංකා පොලීසියට කිසිදු තොරතුරක් ලැබී නැති බවයි .
මාලදිවයින් තානාපති කාර්යාලය , මෙවැනි ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරීමට තානාපති මුක්තිය යොදාගෙන ඇත්දැයි විමසීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශය සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය අසාර්ථක විය..
1988 මාලදිවයින් රජය පෙරළීමට අබ්දුල්ලා ලුත්ෆි ප්‍රමුඛ කණ්ඩායමක් කුමන්ත්‍රණක් දියත් කළ අතර ඉන්දීය හමුදා මැදිහත්ව එය මැඩපවත්වනු ලැබී ය.
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි ලුත්ෆි 2009 වසරේදී ,වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ගොස් ඇති අතර , 2010 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ එතැන් සිට මේ වසරේ මැයි මාසය දක්වා වෙනත් නමකින් ශ්‍රී ලංකාවේ සැඟව සිට ඇති බවද වාර්තා වල සඳහන් ය .
මොහුව අත්අඩංගුවට ගත යුතු බවට 2012 වසෙර් සිට ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදයක්ද නිකුත් කර තිබිණ.