කිලිනොච්චියේ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක්

සෙබළුන් 6කට ජීවිත අහිමිවූ කිලිනොච්චියේ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

by Staff writer 27-06-2019 | 8:42 PM
COLOMBO (News 1st) : කිලිනොච්චියේ දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේ සවිකර තිබූ සංඥා පද්ධතියේ පරිපථය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ, අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය සංඥා පද්ධතිය ක්‍රියාත්මක නොවූ බවට නැගෙන චෝදනා හේතුවෙනි. දුම්රිය ආරක්ෂණ අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පැවසුවේ අදාළ සංඥා පද්ධතියේ පරිපථය, මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා අංශයට ලබා දී ඇති බවයි. අදාළ දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතිය අක්‍රීය තත්වයෙන් පැවති බවට ප්‍රදේශවාසීන් රැසක්, ප්‍රකාශ ලබා දී ඇති බව කිලිනොච්චිය පොලිසිය සඳහන් කළේ ය. කිලිනොච්චිය සහ මුරුකන්ඩි දුම්රිය ස්ථාන අතර 55 හන්දිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියේ ගැටීමෙන් පෙරේදා මෙම අනතුර සිදුවු අතර හමුදා සමාජිකයින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. හගුරන්කෙත දෙහිපේ පදිංචි 21 හැවිරිදි සාමාන්‍ය සෙබළ චමින්ද සනත් කුමාර මහතා මේ අනතුරින් මියගිය එක් අයෙකි. 25 හැවිරිදි සාමාන්‍ය සෙබළ හෂාන් සංජීව මහතා බදුල්ල තල්දෙන ප්‍රදේශයේ පදිංචිව සිටියේ ය. අනුරාධපුර ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ කේ සිරිසේන මහතාද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්විය. 56 හැවිරිදි ඔහු ලබන අගොස්තු මාසයේදී හමුදා සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව සිටි අතර ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි. කුරුණෑගල දොඩගම්ගස්ලන්ද පේරගහඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවූ 28 හැවිරිදි අමිත් පුමින්ද හේරත් ද මෙම අනතුරින් ජිවිතක්ෂයට පත් තවත් සෙබළෙකි. ඔහු මියයනවිට කිලිනොච්චි වෛද්‍ය බලකායට අනියුක්තව සේවය කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/471142690363063/