සාෆිට එරෙහි CID විමර්ශන වාර්තාව අධිකරණය හමුවට

සාෆිට එරෙහි CID විමර්ශන වාර්තාව අධිකරණය හමුවට

by Staff writer 27-06-2019 | 7:45 PM
COLOMBO (News 1st) : වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන්ට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවල වාර්තාව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. ඒ ඊට අදාළ නඩුව අද උදෑසන කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේදීයි. මෙහිදී කාන්තාවන්ගේ පැලෝපීය නාල අවහිර කර ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයක් මගින් කොළඹ රෝහල් සිදු කිරීමට නියමිතව තිබූ පරික්ෂණ අත්හිටුවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. ඒ විත්තියේ නීතිඥයින් කළ ඉල්ලීම මතයි. අදාළ කාන්තාවන්ගේ මඳසරුභාවයට සම්පුර්ණ හේතු සෙවීමට විද්‍යාත්මක පරික්ෂණයක් සිදුකළයුතු බව එම නීතිඥවරු පෙන්වා දුන්හ. කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන්ද මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව විමසීමක් කළ අතර, නීතිඥයින්ගේ කරුණු දැක්වීම ඔහු ද අනුමත කළේ ය. නඩුව ලබන මස 11 වන දින යළිත් කැඳවෙනු ඇති. කුරුණෑගල ශික්ෂණ රෝහලේදී වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වු වෛද්‍ය සාෆි සහබ්දීන් උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි පරිදි වත්කම් රැස් කරගෙන ඇති බවට වන චෝදනාව මත අත්අඩංගුවට ගෙන මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවේ.