මරණ දඬුවම නියම වූ 458 දෙනෙකු බන්ධනාගාරවල

මරණ දඬුවම නියම වූ 458 දෙනෙකු බන්ධනාගාරවල

by Staff writer 27-06-2019 | 7:04 AM
COLOMBO (News 1st) - මෙරට බන්ධනාගාරවල මරණ දඬුවම නියම වූ පුද්ගලයින් 458 දෙනෙකු සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉන් 30කට අධික පිරිසක් මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වැරදිකරුවන් වූවන් ය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අධිකරණය නියම කළ මරණ දඬුවමට එරෙහිව රැඳවියන් 720 දෙනෙකු අභියාචනා පෙත්සම් ගොනු කර ඇති බව ය. අභියාචනා ගොනු කළ රැඳවියන් හැර, මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වරදකරුවන් වී මරණ දඬුවම නියමව සිටින රැඳවියන් සංඛ්‍යාව 18කි. ඒ අතර කාන්තාවක ද වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූවන් අතරට පකිස්ථාන ජාතිකයින් සිව් දෙනෙකු ද ඇතුළත් බව ය. මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු වැරදිකරුවන් 4 දෙනෙකු එල්ලා මැරීමේ නියෝගයට තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශ කළේ ය. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ 18 දෙනාගේ ලැයිස්තුවෙන් සිව් දෙනෙකුට එලෙස මරණ දඬුවම නියම වනු ඇති. ඉදිරි සති දෙක තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන බව ද ජනාධිපතිවරයා ඊයේ සඳහන් කළේ ය. බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේ, අලුගෝසු තනතුර සඳහා ද මේ වන විට දෙදෙනෙකු බඳවා ගෙන ඇති බව ය.