වේලි ඔයට වින කැටෙන වැලි හීරිල්ල

වේලි ඔයට වින කැටෙන වැලි හීරිල්ල

by Staff writer 26-06-2019 | 12:34 PM
COLOMBO (News 1st) - තම හදවත බඳු වේලි ඔය ජලාශ්‍රය රැක ගැනීම සඳහා පහළ ඌවේ ගොවි ජනයා මේ වන විට සටනට බැස තිබේ. ජලාශ්‍රයට අයත් අමුණට හානි පමුණුවමින් හා ජලාශ්‍රයේ රක්ෂිත කලාපය ඩෝසර් කරමින් එක්තරා සමාගමක් මේ දිනවල සූදානම් වන්නේ රක්ෂිතය තුළ දැවැන්ත යන්ත්‍ර සූත්‍ර සවි කිරීමට ය. ජලාශ්‍රයේ තැන්පත් වී ඇති වැලි ඉවත් කරන්නට යන්නේ මෙම යන්ත්‍ර යොදා ගනිමිනි. ජලාශ්‍රය තුළ ඒකරාශී වන වැලි ක්‍රමිකව වේලි ඔය දිගේ පහළට ගලා යාම සඳහා වූ මඩ සොරොව්වකින් වේලි ඔය ජලාශ්‍රය පොහොසත් වුවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම සොරොව්ව විවෘත නොකර ජලාශ්‍රය තුළ වැලි තැන්පත් වන්නට ඉඩහැර ඇති බව විමර්ශන ඉකුත් වසරේ දෙසැම්බර් 10 වන දා අනාවරණය කළේ ය. ඒ වන විටත් මෙම වැලි නිධිය ඉවත් කර ගැනීම සඳහා ප්‍රශ්නගත සමාගමට අවසර දී තිබුණේ, එක් වැලි කියුබයකින් රුපියල් 150ක මුදලක් රජයට ගෙවිය යුතුයි යන කොන්දේසිය මත ය. වේලි ඔය වාරිමාර්ග ඉංජිනේරුවරයාට වැලි ඉවත් කිරීම අධීක්ෂණය කිරීම වෙනුවෙන් රුපියල් 50,000ක මාසික දීමනාවක් ගෙවිය යුතුයි යන කොන්දේසිය ද අදාළ සමාගමට පැනවී තිබේ. ඉවත් කෙරෙන වැලි තම ජනාවාස හරහා ප්‍රවාහනය කිරීමට ගොවි ජනයා ඉඩ නොදෙන බැවින් මෙම යන්ත්‍ර සූත්‍ර මෙහි ගෙනවිත් ඇත්තේ ද ඉදිරියේදී වැලි ප්‍රවාහනය කිරීමට සිදු වන්නේ ද වැව් බැම්ම මතින් වීම හේතුවෙනි. වැව් බැම්ම ඒ සඳහා ප්‍රමාණවත් නොවන බැවින් රක්ෂිත ප්‍රදේශය ද කපා මාර්ගය සකස් කර ගැනීමට සමාගම වගබලාගෙන තිබේ. වේලි ඔයට වැලි එකතු වන්නට ඉඩ නොදී වේලි ඔය ජලාශ්‍රය තුළ වැලි නිධියක් මැවෙන තුරු සොරොව්ව වසා සිටි වාරිමාර්ග නිලධාරීන් සමාගමක් හා එක්ව කරල් නෙළන්නට යන්නේ පහළ ඌවේ ගොවි ජනයාගේ හෙට දවස අනතුරේ හෙළමින් නොවේ ද?