යුද හමුදාපති සහ රිෂාඩ් බදියුදීන් කාරක සභාව හමුවට

යුද හමුදාපති සහ රිෂාඩ් බදියුදීන් අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

by Staff writer 26-06-2019 | 7:44 AM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද 6 වන දිනටත් රැස්වීමට නියමිත ය. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් අද දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා තිබේ. කාරක සභා සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, මීට අමතරව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා සහ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ද සාක්ෂි විමසීම සඳහා කැඳවා ඇති බව ය. මේ අතර කාරක සභාව හමුවට ඉදිරියේදී කැඳවීමට අපේක්ෂිත පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ නම් ඇතුළත් ය. මීට අමතරව වත්මන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද ඉදිරියේදී මෙම කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහන් කළේ ය. එමෙන් ම හිටපු නීතිය හා සාමය අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන් ද අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබේ