මහජන බැංකුව පෞද්ගලීකරණය කරන්නේ නැහැ

මහජන බැංකුව පෞද්ගලීකරණයට කිසිඳු සැලැස්මක් නැහැ - මුදල් අමාත්‍යාංශය

by Staff writer 26-06-2019 | 7:07 PM

COLOMBO (News 1st): මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමේ කිසිඳු සැලැස්මක් නැතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ ගිණුම් හිමියන්ට කොටස් ප්‍රාග්ධනය ලබා දෙන බව කියමින් රජය, මහජන බැංකුව පෞද්ගලිකකරණය කිරීමට සැරසෙන බවට කෙරෙන ප්‍රකාශ සත්‍යයෙන් තොර බව ය. බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කිරීම සහ ණයකර නිකුතුවක් මගින් බැංකුවට යම් මුදලක් එක් රැස් කර ගැනීමට අවස්ථාව ලබාදීම මහජන බැංකු පනත සංශෝධනය කිරිමේ කෙටුම්පතේ අරමුණ බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මෙම නව පනත සම්මත කළ පසු මහජන බැංකුව සතු කොටස් එහි සේවකයින්ට සහ තැන්පත්කරුවන් පමණක් නිකුත් කරන බවත් ඉන් පරිබාහිර කිසිවෙකුට කොටස් නිකුත් නොකරන බවත් මුදල් අමාත්‍යංශය අවධාරණය කළේය. මේ අතර මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමේ අවධානම පහව ගොස් නැතැයි බැංකු සේවක වෘත්තිය සමිති මුදල් අමාත්‍යාංශයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් පවසයි. වෘත්තීය සමිති ප්‍රශ්න කරන්නේ ප්‍රාග්ධනය වැඩිකර ගැනීමට ණයකර නිකුත් කරන කොන්දේසි මොනවාද යන්න පිළිබඳවයි. මේ ණයකර අවශ්‍ය අවස්ථාවකදී කොටස් බවට පත් කිරීමට හැකි අයුරින් කොන්දේසි පනවා ඇත්නම් එය බරපතල තත්ත්වයක බව බැංකු සේවක වෘත්තීය සමිති පවසයි. ඔවුන් විමසන්නේ මෙම කොන්දේසිවලට අමතරව ආපසු ගෙවීමේ කාලසීමාව හා ඊට අදාළ කරුණු ද අනාවරණය කළ යුතු බව ය. මේ අතර 100%ක් රාජ්‍ය අයිතිය සතු බැංකුව කුමන පාර්ශ්වයකට හෝ කොටස් නිකුත් කිරීම බැංකුව පෞද්ගලීකරණය කිරීමක් හෙවත් විකුණා දැමීමක් නොවන්නේ දැයි ලංකා බැංකු සේවක සංගමය මුදල් අමත්‍යාංශයෙන් ප්‍රශ්ණ කරන්නේය.