මරණ දඬුවම ලබා දීමේ නියෝගයට ජනපති අත්සන් කරයි

මරණ දඬුවම ලබා දීමේ නියෝගයට ජනපති අත්සන් කරයි

by Staff writer 26-06-2019 | 9:35 AM
COLOMBO (News 1st) - සිරකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගයට තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා කියා සිටියේ, ඒ සඳහා දිනය ද තීරණය කර ඇති බව ය. සෝෆා සහ අමෙරිකානු හමුදාවට මෙරටට ගොඩබැසීමට හැකි ගිවිසුම්වලට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා කියා සිටියේ, කැබිනට් මණ්ඩලයේදී ද තමන් මෙම ගිවිසුම්වලට විරුද්ධත්වය පළ කළ බව ය. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග දැන් පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව ය. එසේ නොකළහොත් රටට ඉදිරියට යා නොහැකි බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය. ජනමත විචාරණයක් පවත්වන බවට පළ වන වාර්තා සම්පූර්ණ අසත්‍යයක් බව කියා සිටි ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් මාස දෙකක් තුළ මහ මැතිවරණයක් පවත්වනු ඇතැයි ද කියා සිටියේ ය. එමෙන් ම අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සෑහීමකට පත් වන බවත්, ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස මිය ගොස් ඇති බවත් ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ කියා සිටියේ ය.