කිලිනොච්චියේ මාරක අනතුර:තවත් හමුදා සෙබළෙකු මරුට

කිලිනොච්චියේ සිදු වූ මාරක අනතුරින් තුවාල ලබා සිටි තවත් හමුදා සෙබළෙකු මරුට

by Staff writer 26-06-2019 | 10:35 AM
COLOMBO (News 1st) - කිලිනොච්චිය සහ මුරුකන්ඩි දුම්රිය ස්ථාන අතර 55 හන්දිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලබා සිටි තවත් හමුදා සාමාජිකයෙකු මිය ගොස් තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි හමුදා සෙබළෙකු ඊයේ රාත්‍රියේ එලෙස මිය ගොස් ඇති බව ය. අනතුරින් තුවාල ලැබූ තවත් හමුදා සාමාජිකයෙකු තවදුරටත් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. ඊයේ පස්වරු 1.45ට පමණ කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය කළ යාල් දේවි දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු විය. අනතුරට ලක්වන අවස්ථාවේ ට්‍රක් රථයේ සිටි හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 7කි. ඔවුන් ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.