දේශීය අතිරේක බෝග ආනයනය සීමා කිරීමට පියවර

දේශීය අතිරේක බෝග ආනයනය සීමා කිරීමට පියවර

by Staff writer 25-06-2019 | 11:44 AM
COLOMBO (News 1st) : දේශීයව නිෂ්පාදනය වන අතිරේක බෝග ආනයනය සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය මූලික සාකච්ඡා සිදුකරමින් ඇති බවයි. ඒ අනුව, ඒ ඒ අතිරේක බෝග සඳහා මෙරට අවශ්‍යතාව හා මෙරට තුළ පවතින නිෂ්පාදන ධාරිතාව සම්න්ධයෙන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට පියවර ගෙන තිබේ. එම වාර්තා පදනම් කර ගනිමින්, ජීවන වියදම් කමිටුවට කරුණු වාර්තා කිරිමට පියවර ගෙන ඇතැයි ද, කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. ඒ අනුව මෙරට නිෂ්පාදනය කෙරෙන ලොකු ළූණු, අල, මුං, කව්පි, උදු ඇතුළු අතිරේක බෝග මෙරටට ගෙන්වීම සීමා කිරීමට රජයේ අවධානය යොමු ව තිබේ. එම බෝග මත පනවන බදු ඉහළ දැමීම හෝ ඒ සඳහා වන බලපත්‍ර නිකුත් කිරිම සීමා කිරිම තුළින් එම කටයුතු විධිමත් කිරිමට සැලසුම් කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. දේශීය ගොවීන් ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයින් වෙත සහන සැලසීම අරමුණ කරගනිමින්, මෙම පියවර ගන්නා බව, අමාත්‍යාංශය සඳහන් කළේ ය.