ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් බංග්ලාදේශයට ජය

ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් බංග්ලාදේශයට ජය

by Staff writer 25-06-2019 | 7:18 AM
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් බංග්ලාදේශය ලකුණු 62ක ජයක් වාර්තා කළේ ය. ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා බංග්ලාදේශයට තව දුරටත් බලාපොරොත්තු තබා ගත හැකියි. සවුත්තැම්ප්ටන්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයේ ආරම්භක කඩුල්ල ලකුණු 23දී බිඳ වැටිණ. අනතුරුව පිටියේ ස්ථාවර වූ ශකීබ් අල් හසන් හා තමීම් ඉක්බාල් අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 59කි. මුශ්ෆිකර් රහීම් සහ ශකීබ් අල් හසන් තුන්වැනි කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ගොඩනැගූහ. ශකීබ් අල් හසන් ලකුණු 51ක් රැස් කළ අතර මොහොමඩ් මහමුදුල්ලා සහ මුෂ්ෆිකර් රහීම් 5 වන කඩුල්ල සඳහා ගොඩ නැගූ සබඳතාව ලකුණු 56කි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් 4 පහර 4ක් සහ 6 පහරක් සමග ලකුණු 83ක් රැස් කළේ ය. මුජීබ් උර් රහ්මාන් ලකුණු 39ට කඩුලු 3ක් බිඳ හෙළී ය. බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 262ක් රැස් කළේ ය. ඇෆ්ගනිස්ථාන පිළිතුරු ඉනිම ආරම්භ කරනු ලැබුවේ, නායක ගුල්බදීන් නයිබ් සහ රහ්මත් ශාහ් විසිනි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 49ක සබඳතාවක් ගොඩනැගූහ. සමියුල්ලා ශින්වාරි සහ නජිබුල්ලා සද්රාන් අතර 7 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 56කි. ශින්වාරි නොදැවී ලකුණු 49ක් රැස් කළ අතර ශකීබ් අල් හසන් ලකුණු 29 ට කඩුලු 5ක් දවා ගත්හ. ඔහු එක්දින ඉනිමක කඩුලු 5 සීමාව පසු කළ 2 වැනි අවස්ථාව මෙය වේ. ඒ අනුව ශකීබ් අල් හසන් ඉතිහාසයට එක් වූයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී අර්ධ ශතකයක් සහ කඩුලු 5ක දවා ගත් ලොව දෙවැනි ක්‍රීඩකයා ලෙසයි. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාවේ යුව්රාජ් සිං ද එක් තරගයක් තුළ මෙම දක්ෂතාව දක්වා තිබේ. මුස්තෆිසූර් රහ්මාන් ලකුණු 32ට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. පන්දුවාර 47කදී ලකුණු 200කට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා දැවී ගියහ. ඒ අනුව බංග්ලාදේශය තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ ය. සහභාගී වූ තරග 7ම පරාජය වූ ඇෆ්ගනිස්ථානයට එහි හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.