මයික් පොම්පියෝ අද සෞදි අරාබියට

මයික් පොම්පියෝ සෞදි අරාබියාවේ සංචාරයක

by Staff writer 24-06-2019 | 7:12 PM

News 1st - අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද සෞදි අරාබියාවේ ජෙඩා නුවරට පැමිණියේ ය.

ඒ, ඉරානය හා සමග ගැටුම්කාරි තත්ත්වය උත්සන්නවීමත් සමගයි. අමෙකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙම හදිසි සංචාරයේ නිරතවෙන්නේ සෞදි අරාබිය සහ එක්සත් ආරාබී එමීර් රාජ්‍යවලයි. එහි අරමුණ එම රටවල් සමග ඉරානයට එරෙහිව උපාය මාර්ගික වශයෙන් ස්ථාවරයට එළඹීම බව විදෙස් වාර්තාවන්ගේ සඳහන් විය. මෙම සංචාරය ආරම්භ කර තිබෙන්නේ, ඉරානය අමෙරිකානු ඩ්‍රෝන යානාවක් බිම හෙළා දැමූ වාතාවරණයක් වීම ද විශේෂත්වයකි. මෙම සංචාරයේ නිරතවීමට පෙර රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ, ඉරානයට එරෙහිව ජාත්‍යන්තර සම්මුතියක් ගොඩනගන බවයි. ඒ අතර ඉරානයේ මිසයිල ආරක්ෂණ පද්ධතියට හා බුද්ධි ජාලයට සයිබර් ප්‍රහාරයක් අමෙරිකාව එල්ල කර ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කළ අතර ඉරානය එම වාර්තා ප්‍රතික්ෂේප කළේ ය. මේ අතර අමෙරිකානු ඩ්‍රෝන යානා නැවතත් ඉරාන ගුවන් සීමාව උල්ලංඝණය කළහොත් එවන් යානා බිම හෙළිමට ඉරානය සූදානම් බව ඉරාන නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබේ. තව ද අමෙරිකානු මාධ්‍ය හමුවේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හොංකොංහි පවතින උද්ඝෝෂණ පිළිබඳව චීන ජනාධිපති ෂිජිංපිං සමග ජී20 සමුළුව අතරතුර සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් චීනය නිවේදනය කළේ, හොංකොං හි සිදුවන උද්ඝෝෂණ චීනයේ අභ්‍යන්තර ගැටළුවක් බැවින් ඊට විදෙස් මැදිහත්වීම් අනවශ්‍ය බවයි. මෙවන් පසුබිමක සෞදි අරාබියානු සංචාරය නිම කරමින්, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙට ඉන්දීයාවට ළඟා වීමට නියමිත වේ. රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ද පැමිණීමට කළින් සැලසුම්කර තිබුනත් පසුව එය අවලංගු කෙරුණි.