චෙක් ජනරජයේ අගමැතිට එරෙහිව දහස්ගණන් වීථි බසිති

චෙක් ජනරජයේ අගමැතිට එරෙහිව දහස්ගණන් වීථි බසිති

by Staff writer 24-06-2019 | 8:32 AM
COLOMBO (News 1st) : චෙක් ජනරජයේ අග්‍රාමාත්‍ය අන්ඩ්‍රේ බාබිෂ්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පුද්ගලයන් ලක්ෂ ගණනක් විරෝධතාවල නිරතව සිටිති. ප්‍රාග් නුවරට රැස්වූ ලක්ෂ දෙකහමාරක පමණ මෙම විරෝධතාකරුවන් පවසන්නේ දූෂණ චෝදනා එල්ලවන අග්‍රාමාත්‍යවරයාට තවදුරටත් බලයේ රැඳී සිටීමට ඉඩ දිය නොහැකි බවයි . 1989 වසරේ චෙක් ජනරජයේ පැවති විප්ලවයෙන් පසුව එරට මෙතරම් පිරිසක් විරෝධතාවල නිරතවන මුල් අවස්ථාව මෙය බව සඳහන් ය. චෙක් ජනරජයේ අග්‍රාමාත්‍යවරයා යුරෝපා සංගමයේ ආධාර මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ලවීමෙන් පසු ඔහුට එරෙහිව විරෝධතා පැවැත්වෙන පස්වන අවස්ථාව මෙය වේ. පොලීසිය පවසන්නේ අග්‍රාමාත්‍යවරයා ඔහුට අයත් ගොවිපළක සහ සම්මන්ත්‍රණ ශාලාවක අයිතිය සඟවා , යුරෝපා සංගමය සුලු පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ලබාදෙන සහනාධාරය ලබාගැනීමට කටයුතු කළ බවයි. ඔහු මේ හමුවේ යුරෝපා සංගමයට යුරෝ මිලියන 17 .5 ක මුදලක් ආපසු ගෙවිය යුතු බව ද යුරෝපා කොමිසමේ වාර්තාවක් හෙළිකර තිබිණ. ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන අග්‍රාමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනුකර දිනකට පසු , එරට රජය නව අධිකරණ අමාත්‍යවරියක පත්කල අතර ඇය අග්‍රාමාත්‍යවරයාගේ සමීප මිතුරියක බව වාර්තා වේ. විරෝධතාකරුවන් පවසන්නේ අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ලවන පසුබිමකදී නව අධිකරණ අමාත්‍යවරියක පත්කිරීම , චෙක් ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ස්වාධීනභාවයට තර්ජනයක් බවයි . කෙසේ වෙතත් තමන්ට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ චෙක් ජනරජයේ අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඒවා පදනම් විරහිත බවයි ධූරයෙන් ඉල්ලා අස්වීම හෝ යුරෝපා සංගමයෙන් ලබාගත් සහනාධාර මුදල් යලි ගෙවීමද ඔහු ප්‍රතික්ෂේප කළේ ය.