"එහෙන් මුල්ගල් තිබ්බා: මෙහෙන් ගොඩ නැගුවා"

ඇමති කිරිඇල්ල මල්වතු මහ නා හිමි හමුවෙයි

by Staff writer 24-06-2019 | 7:55 PM

COLOMBO (News 1st) - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහ නා හිමි අතිපූජ්‍ය තිබ්බාටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් බැහැ දැකීමට පැමිණියේ ය.

උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදනවලින් මල්වතු, අස්ගිරි මහා විහාරස්ථානවල සහ මහනුවර රදගුරු නිල නිවසේ සවි කළ ආරක්ෂිත කැමරා පද්ධති අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද නිල වශයෙන් භාර දුන්නේ ය. එහිදී මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් හා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතා බහක නිරත විය. එහිදී මහ නා හිමියන් කියා සිටියේ, ත්‍රස්තවාදය නිවැරදිව මර්දනය කලහොත් CCTV සවි කිරීමට අවශ්‍ය නොවන බවයි. ත්‍රස්තවාදය ව්‍යාප්ත වන තෙක් දැන ගැනීමට නොහැකි වූ බවත් පැවති ආණ්ඩුව යටතේ ත්‍රස්තවාදී කටයුතුවලට මුල්ගල් තැබූ අතර මේ ආණ්ඩුව යටතේ එය වර්ධනය වූ බවත් මහ නා හිමියන් කියා සිටියේ ය. මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා අරමුදල් පැමිණියේ කෙසේදැයි සොයා ගැනීමට නොහැකිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා විනිවිදභාවයකින් දඬුවම් දිය යුතු බවත් මල්වතු මහ නා හිමියන් මෙහිදී අවධාරණය කර සිටියේ ය.