අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට

by Staff writer 24-06-2019 | 11:56 AM
COLOMBO (News 1st) : අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව සලකා බැලීම වෙනුවෙන් පෙත්සම ලබන මස 31 වන දා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. අද දින පෙත්සම කැඳවනු ලැබුවේ ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්.තුරේරාජා යන ත්‍රිපුදගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. තමා අනිවාර්ය නිවාඩු යැවීමේ නියෝගය වළක්වන, අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පූජිත් ජයසුන්දර මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ. පූජිත් ජයසුන්දර මහතා එම පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ තමා යළි සේවයේ පිහිටුවන ලෙසයි. සාධාරණ හේතුවක් නොමැතිව තමා අනිවාර්ය නිවාඩු යැවීම මගින් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. අද පෙත්සම කැඳවූ අවස්ථාවේදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබීය. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරයා පෙන්වා දුන්නේ, පෙත්සමෙන් පෙන්වා දී ඇති පරිදි ජනාධිපතිවරයාට පෙත්සම්කරු අනිවාර්ය නිවාඩු යැවීමේ නීතිමය බලයක් තිබේ ද?, එම බලය ජනාධිපතිවරයා විසින් නිසි ලෙස භාවිතකර තිබේ ද? යන කරුණ අධ්‍යනය කර ඉදිරි නඩු දිනයේදී පෙත්සම්කරු ඉල්ලා ඇති පරිදි ඔහුගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේ ද නැද්ද යන, කරුණු සම්බන්ධයෙන් තින්දුවක් ගන්නා බවයි. නඩුවේ වගඋත්තරකරුවන් වන්නේ වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න , හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු , නීතිපතිවරයා, රාජ්‍ය බුද්ධි අංශය භාර නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවයි. නිලන්ත ජයවර්ධන සහ සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් දිව්රුම් ප්‍රකාශ මගින් මෙම පෙත්සම සම්බන්ධයනේ මූලික විරෝධතා අධිකරණය හමුවේ ගොනුකර ඇති නමුත් එම දිව්රුම් ප්‍රකාශ විනිසුරු මඬුල්ලට මේ දක්වා ලැබී නොමැති බව අධිකරණය හමුවේ අනාවරණ විය. 2018 ඔක්තෝම්බර් මාසයේ සිටම තමන්ට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට සහභාගිවීමට අවස්ථාවක් නොලැබුණු බව පූජිත් ජයසුන්දර මහතා තම පෙත්සමේ සඳහන් කර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ උපදෙස් පිළිබඳව ඔක්තෝම්බර් මුල් සතියේදී එවක සිටි ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා තමන් දැනුවත් කළ බවයි. රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට සෘජුව ජනාධිපතිවරයාට වාර්තාකරන ලෙස නියෝග කර තිබූ බවද පූජිත් ජයසුන්දර මහතාගේ පෙත්සමේ සඳහන් ය. ඔහු පෙන්වා දෙන්නේ ත්‍රස්ත ප්‍රහාරයක සූදානම පිළිබඳව තමන් මුලින්ම තොරතුරු දැනගත්තේ 2019 අප්‍රේල් මස 09 වන දා පැවති බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමේදී බවයි. පසුව රාජ්‍ය බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ලිපියකින් තමන්ට මේ සම්බන්ධයෙන් දැනුම්දුන් බවත් එම ලිපිය අදාළ ක්‍රියාමාර්ග සදහා ඉහළ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට යොමුකළ බවත් පොලිස්පතිවරයා පෙත්සමේ සඳහන් කර තිබේ.