ශාමිගේ කඩුලු ත්‍රිත්වයෙන් ඉන්දියාවේ ගෞරවය බේරෙයි

මොහොමඩ් ශාමිගේ පෙරළිකාර කඩුලු ත්‍රිත්වයයෙන් ඇෆ්ගනිස්ථානයට එරෙහි ජය ඉන්දියාවට

by Staff writer 23-06-2019 | 11:08 AM

News 1st - 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගයෙන් ලකුණු 11 ක ජයක් හිමිකර ගැනීමට විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් විය.

සවුතැම්ප්ට්න්හිදියි පැවැති තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 224 ක් පමණි. ලකුණු 225 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානු පිතිකරුවන්ට එම ඉලක්කය පහසුවෙන් හඹා යෑමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිවුයේ නැත. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 20 දී බිඳ වැටුණු අතර ඉන්පසු නායක ගුලාබ්ඩින් නයිබ් හා රහමට් ෂා පිළිවෙලින් ලකුණු 27 ක් හා 36 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතේ රඳවා ගැනීමට උත්සහ කළේ ය. කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයට අවසන් පන්දුවාරයේදී ලකුණු 16 ක ඉලක්කයක් හිමි වූ අතර මොහොමඩ් ශාමි ක්‍රියාත්මක කළ එම පන්දුවාරයේ පළමු පන්දුවේදීම ලකුණු 4 ක් ලබා ගැනීමට නබී සමත් විය. නමුත් තෙවන පන්දුවේදී නබී දවා ගත් ශාමි අනෙක් පන්දු දෙකේදී අවසන් පිතිකරුවන් දෙදෙනා ද දවා ගත්තේ කඩුලු ත්‍රිත්වයක් සමගින් ඉන්දීය කණ්ඩායමට ජය හිමි කර දෙමිනි. එම කඩුලු ත්‍රිත්වයත් සමග මොහොමඩ් ශාමි වාර්තා අතරට එක්වූයේ ලෝක කුසලාන තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් දෙවන ඉන්දීය ක්‍රීඩකයා ලෙසයි. ඉන්දීය කණ්ඩායම මෙම ලබා ගත් ජයග්‍රාහනය ලෝක කුසලාන තරගාවලියේ ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායම හිමිකර ගත් 50 වැනි ජයග්‍රහනය ලෙස ද වාර්තා අතරට එක්විය.