ලසිත් මාලිංග ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

සත්කාරක එංගලන්තය අසරණ කළ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

by Chathuranga Rajapaksha 22-06-2019 | 1:01 AM

COLOMBO (News 1st): ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 20ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලීඩ්ස්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ, අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්නේය. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 2ක් ලකුණු 3ක් තුළ දැවී ගියේය. දිමුත් කරුණාරත්න එක් ලකුණකට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 2කට දැවී ගියේය. අනතුරුව කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු එක්ව 3වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 49කට දැවි ගියේය. පසුව මෙන්ඩිස් සමග එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක වටිනා සබඳතාවයක් ගොඩනැංවිය. කුසල් මෙන්ඩිස් ලකුණු 46ක දැවී ගියේය. කලකට පසු දක්ෂ ලෙස පන්දුවට පහර දුන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85ක් ලබා ගැනීමට සමත් විය. ආරම්භ ක පිතිකරුවන් සහ පසුපෙල අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 232ක් පමණි. ජොෆ්රා ආර්චර් සහ මාර්ක් වුඩ් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය. ලොව අංක එකේ එක්දින කණ්ඩායම වූ එංගලන්තයට මෙය පහසු ජයග්‍රාහී ඉලක්කයක් වුවත් අවසානයේ ඔවුන් ශ්‍රී ලංකා පන්දු බලඇණිය හමුවේ අසරණ විය. එංගලන්ත පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දෙවන පන්දුවේදීම ලකුණු 1ක් තුළ දවා ගැනිමට ලසිත් මාලිංග සමත් විය. දෙවන කඩුල්ල ලකුණු 26දී සහ 3වන කඩුල්ල ලකුණු 73දී බිඳ වැටුණි. ඒ, අනුව ජයග්‍රහණය එංගලන්තයට සිහිනක් බවට පත් කරමින් සියලු ක්‍රීඩකයින් පන්දුවාර 47කදී ලකුණු 212කට දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. නැවතත් තමා ලොව හොඳම පන්දු යවන්නා බවට සනාථ කරමින් ලසිත් මාලිංග පන්දුවාර 10කදී ලකුණු 43කට කඩුලු 4ක් දවා ගත්තේය. ඊට එක් නිලකුණු පන්දුවාරයක්ද ඇතුලත් විය. ධනංජය ද සිල්වා ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තේය. ඉසුරු උදාන කඩුලු 2ක් දවා ගත්තේය. හුදකලා සටනක නිරත වූ බෙන් ස්ටෝක් නොදැවී ලකුණු 82ක් ලබා ගැනීමට සමත් විය. තරගයේ වීරයා සම්මානය ලසිත් මාලිංගට හිමිවිය. මේ වනවිට ලකුණු 6ක් ලබා සිටින ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 5වන ස්ථානයේ රැඳී සිටී. ශ්‍රී ලංකාවේ මීළඟ තරගය ලබන සිකුරාදා දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත ය.