දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්: වර්ජනය හේතුවෙන් රටට මිලියන 19කට අධික පාඩුවක්

by Staff writer 22-06-2019 | 4:10 PM
COLOMBO (News 1st) - පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක දුම්රිය සේවක වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත ය. මේ අතර දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් දින 2ක් තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 19කට අධික අලාභයක් සිදුව තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සාමාන්‍ය දිනයකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 11ත් 15ත් අතර වන බව ය. සති අන්තයේ දිනක දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 8ත් 10ත් අතර වේ. පෙරේදා මධම රාත්‍රියේ සිට දුම්රිය සේවකයින් පැය 48ක වැඩ වර්ජනයක නිරත වන්නේ, දුම්රිය සේවක ශ්‍රේණිවල වැටුප් විෂමතාව ඉවත් කිරීම් සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම යන කරුණු මුල් කර ගනිමිනි.