ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සඳහා ජපානයෙන් යෙන් බිලියනයක ප්‍රදානයක් ලබා දීමට එකඟත්වය

by Staff writer 22-06-2019 | 9:10 PM
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සඳහා ජපානයෙන් යෙන් බිලියනයක ප්‍රදානයක් ලබා දීමට ඊයේ ජපානය එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වේ. ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරෝටෝ ඉසූමි, ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිරි කළමනාකාරිත්වය ජපානය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්ව සිදු කිරීම පිළිබඳව සාකච්ඡාවකට බඳුන් වූ බව අග්‍රාමාත්‍ය 6කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. එමෙන් ම කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියටත් සහය පළ කිරීමට මෙහිදී ජපාන නියෝජිතයින් එකඟත්වය පළ කර තිබේ. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජපානයේ උදව් ඇතිව එල්.එන්.ජී. පර්යන්තයක් ද මෙරට ස්ථාපිත කිරීමට නියමිත බව ය. ඉන්දියන් සාගර කලාපයේ නිදහස් සංචරණය පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමු වූ බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මෙම හමුවට අග්‍රාමාත්‍යවරයා සමග අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවි කරුනාණායක, මලික් සමරවික්‍රම, සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. නමුත් මෙම සාකච්ඡාවට විදේශ කටයුතු අමාත්‍යවරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු එක්වූ බවක් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ද සඳහන් නොවීය. මේ අතර දි අයිලන්ඩ් පුවත්පත අද වාර්තා කළේ, අදාළ සාකච්ඡාවේදී ත්‍රිකුණාමල වරාය සංවර්ධනය සඳහා ද යෙන් බිලියනයක් ලබා දෙන බව මෙහිදී ජපාන නියෝජිතයින් එකඟත්වය පළ කළ බව ය. එය ප්‍රධානයක් ලෙස ලැබෙන බව ද පුවත්පත් වාර්තාවේ සඳහන් ය.