පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු

by Staff writer 22-06-2019 | 7:20 AM

COLOMBO (News 1st) - පොලිස් නිලධාරීන් රැසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට වයඹ හා උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. වයඹ හා උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා බස්නාහිර පළාත සහ රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, බස්නාහිර පළාත උතුරු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරු 5 දෙනෙකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙකුට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. එසේම පොලිස්ථානාධිපතිවරු ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරු 7 දෙනෙකුට සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.