ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයින් සඳහා යෝජනා 3ක්

ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයින් සඳහා මිලින්ද මොරගොඩගෙන් යෝජනා 3ක්

by Staff writer 22-06-2019 | 9:21 PM
COLOMBO (News 1st) - ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් සඳහා හිටපු අමාත්‍ය හා උරුමයක උල්පත පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් යෝජනා 3ක් ඉදිරිපත් කර තිබේ. මිලින්ද මොරගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ පළමු යෝජනාව වන්නේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරමින් ක්‍රියාකාරී විධායක ජනාධිපති ක්‍රමය ස්ථාවර කිරීම ය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කර පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම මොරගොඩ මහතා ඉදිරිපත් කරන දෙවන යෝජනාවයි. ඔහු පෙන්වා දෙන්නේ, වාර්ෂිකව රුපියල් බිලියන 250කට අධික මහජන මුදලක් වැය වන මෙම පළාත් සභා යනු සුදු අලියෙකු බව ය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සඳහා විවිධ ආගමික හා වාර්ගික කණ්ඩායම්වලට සක්‍රීයව දායක විය හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම ද මොරගොඩ මහතාගේ තවත් යෝජනාවකි. එය සෙනෙට් සභාවක් වැනි ක්‍රමවේදයක් ඔස්සේ සිදු කළ හැකි බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.