අගමැති හා ජනපති විශේෂ කාරක සභාවට කැඳවීමේ තීරණයක්

අගමැති මෙන්ම ජනපතිත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක්

by Staff writer 22-06-2019 | 11:47 AM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබේ. කාරක සභාව විසින් ඉදිරියේදී කැඳවීමට අපේක්ෂිත පුද්ගලයින්ගේ ලැයිස්තුවේ අග්‍රාමාත්‍යවරයා ඇතුලු තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ නම් ඇතුළත් ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව අදාළ ලැයිස්තුවේ කැඳවීමට නම් කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස බව විශේෂ කාරක සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාව හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවන දිනය මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නොමැත. මේ අතර වත්මන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද ඉදිරියේදී මෙම කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහන් කළේ ය. එමෙන් ම හිටපු නීතිය හා සාමය අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන් ද අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට නියමිත ය.