විදෙස්ගත ලාංකික දරුවන්ටත් සා/පෙළට පෙනී සිටීමේ වරම්

විදෙස්ගත ශ්‍රී ලාංකික දරුවන්ටත් මෙවර සා/පෙළ විභාගයට පෙනී සිටීමේ වරම්

by Staff writer 21-06-2019 | 9:00 AM
COLOMBO (News 1st) - එළැඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට විදේශවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ට ද පෙනී සිටීමට අවස්ථාව සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ, විදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයින් රැසක් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ය. ඒ අනුව ඉතාලිය, ඕමානය හා කාටර් රාජ්‍යවල පදිංචි ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ට මෙවර එම අවස්ථාව හිමි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, විදේශ අමාත්‍යංශය හා එම රටවල පිහිටි තානාපති කාර්යාල සමග ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ය. විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම රටවලට ගොස් අදාළ විභාග කටයුතු සැලසුම් කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.