වැලිකඩ නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ?

වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ඝාතනයේ නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි ඉල්ලීමක්

by Staff writer 21-06-2019 | 5:06 PM

COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සහ සිරකරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුව විශේෂ ත්‍රිපුද්ගල අධිකරණයකදී විභාගයට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් සහ සිරකරුවන් පිරිසක් 2012 වසරේදී වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා 33 ක් යටතේ විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නියමිතයි. පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, වැලිකඩ බන්ධනාගාර හිටපු කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා හා වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කළ ඉමදුවගේ ඉන්දික සම්පත් යන අය එම විත්තිකරුවන් තිදෙනා වේ. නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාට පෙන්වාදී ඇත්තේ, විත්තිකරුවන්ට එල්ල කිරීමට අපේක්ෂා කරන අධිචෝදනා ජුරි සභාවක් නොමැතිව විශේෂ මහාධිකරණ විනිශ්චයකාරවරුන් 03 දෙනෙකුගෙන් සමන්විත විශේෂ අධිකරණයක් හමුවේදී විභාගයට ගත යුතු බවයි. 03 වැනි විත්තිකරු වන ඉමදුවගේ ඉන්දික සම්පත් නැමැත්තා පොලීසිය මග හැර සිටින අයෙකු වන බව ද නීතිපතිවරයා අගවිනිසුරුවරයාට දැනුම්දී තිබේ. මේ අතර නීතිපතිවරයා විසින් මහාධිකරණ ලේඛකාධිකරිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ, විත්තිකරුවන් තිදෙනාට එරෙහිව පවරන නඩුව විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පැවැත්විය යුතු වැරදි බවට මහාධිකරණයේ ප්‍රදර්ශනය කරන ලෙසයි.