දුම්රිය සේවක වැඩ වර්ජනයෙන් මගීන්ට දැඩි දුෂ්කරතා

දුම්රිය සේවක වැඩ වර්ජනයෙන් මගීන්ට දැඩි දුෂ්කරතා

by Staff writer 21-06-2019 | 7:12 AM
COLOMBO (News 1st) - දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් වෘත්තීය සමිති සාමාජිකයෝ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක් ආරම්භ කළහ. දුම්රිය සේවකයින් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කළේ, ශ්‍රේණිවල වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනි. දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් වැඩ වර්ජනයට එක්වන බව ය. ඒ හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනයට නියමිතව තිබූ සියලු තැපැල් දුම්රිය අවලංගු කළ බවත්, තවත් දුම්රිය කිහිපයක ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර අද දිනයේ දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් සොයා බැලීමට අපි දිවයිනේ ප්‍රධාන දුම්රිය ස්ථන කිහිපයකම සංචාරය කළෙමු. අද අලුයම කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රිය 5.45ට පිටත් විය. අප වාර්තාකරු පැවසුවේ දුම්රිය මගීන්ගේ අඩුවක් ද පැවති බව ය. මහනුවර දුම්රිය ස්ථානයෙන් අද අලුයම 4.30, අලුයම 5.00ට කොළඹ බලා පිටත් වීමට තිබූ දුම්රිය අද ධාවනය නොකළ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය පාලන මැදිරියට ද මුද්‍රා තබා ඇති බව ය. මේ හේතුවෙන් රාජකාරී සඳහා දුම්රියෙන් පිටත් වන මගීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ. අද අලුයම 5.00ට මාතරින් කොළඹ බලා ධාවනය වීමට නියමිත සාගරිකා දුම්රිය මද වේලාවක් ප්‍රමාද වී කොළඹ බලා ධාවනය විය. කෙසේ වෙතත් ප්‍රවේශ පත්‍ර කවුළු හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ කාමර වසා දමා තිබිණි. අප වාර්තාකරු පැවසුවේ, ඒ හේතුවෙන් ටිකට් පත් නොමැතිව මගීන් දුම්රියේ ගමන් කළ බව ය. මහව සිට කොටුව දක්වා ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය අද අලුයම 5.35ට කුරුණෑගල දුම්රිය ස්ථානයට ළඟා විය. කුරුණෑගල දුම්රිය ස්ථානයේත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කවුළු සහ ස්ථානාධිපති කාමර වසා දමා තිබිණි. වෙනදා තරම් මගීන් දුම්රිය ස්ථානයට පැමිණ නොතිබූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ගාල්ලෙන් මරදාන බලා ධාවනය වන අලුයම 3.40, අලුයම 4.15, අලුයම 5.00 දුම්රි අද ධාවනය නොකළ අතර අලුයම 4.15ට ධාවනය වන දුම්රිය පැයක් ප්‍රමාද වී කොළඹ බලා ධාවනය විය. ගාල්ල දුම්රිය ස්ථානයේ ද නියාමකවරුන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන් රාජකාරී සඳහා වාර්තා කර නොතිබිණි. මෙහෙයුම් මැදිරියට ද මුද්‍රා යොදා තිබිණි. මේ අතර දුම්රිය සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද දිනයේ මගීන්ගේ දුෂ්කරතා අවම කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි සභාපති උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, ඊට පහසුකම් සැලසීමට සියලු ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ය.