සීතාවක ජල විදුලි බලාගාරය කොලේ වසා ගැහිල්ලක් ද?

සීතාවක ජල විදුලි බලාගාරය කොලේ වසා ගැහිල්ලක් ද?

by Staff writer 20-06-2019 | 9:36 PM
COLOMBO (News 1st) - මෙරට අවසන් මහා පරිමාණ ජල විදුලි බලාගාරය ලෙස සීතාවක ජල විදුලි බලාගාරය ඉදිකිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය තීරණය කළේ 2016 වසරේදී ය. සීතාවක ගඟ දැරණියගලින් හරස් කර එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකු ආධාර ලබා ගැනීමට සැලසුම් කෙරිණි. ඒ අනුව ව්‍යාපෘති කාර්යාලය 2016 වසරේ ඔක්තෝබර් මස 29 වන දා දෙහිඕවිට ප්‍රදේශයේදී විවෘත කෙරුණේ එවක විෂය භාර අමාත්‍යවරයාව සිටි රංජිත් සියඹලාපිටිය මහතා අතිනි. කෙසේ වෙතත් සීතාවක ගඟ හරස් කිරීමෙන් බරපතළ සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු ඇති විය හැකි බවට පරිසර සංවිධාන අනතුරු අඟවයි. ප්‍රදේශවාසීන් ද ව්‍යාපෘතිය නතර කරන ලෙස ඉල්ලා විරෝධතාවල නියැලුණු අවස්ථා එමට ය. ඉකුත් 6 වන දා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නැගුණු ප්‍රශ්නයකට ආණ්ඩුව පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අවධාරණය කළේ එවැනි ව්‍යාපෘතියක් නොමැති බව ය. එහෙත් 2016 වසරේ විවෘත කෙරුණු ව්‍යාපෘති කාර්යාලය අදටත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් දෙහිඕවිට ප්‍රදේශයේ පවත්වාගෙන යයි.