ලෝක කුසලාන සිහිනය දකුණු අප්‍රිකාවෙන් ගිලිහෙයි

ලෝක කුසලාන සිහිනය දකුණු අප්‍රිකාවෙන් ගිලිහෙයි

by Staff writer 20-06-2019 | 8:01 AM

News 1st - ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිමේ අවස්ථාව දකුණු අප්‍රිකාවෙන් ගිලිහී තිබේ.

ඒ, නවසීලන්තය සමග පැවැති තරගය පරාජය වීමත් සමගයි. බර්මින්හැම් එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ තණ තිල්ල තෙත සහිත ස්වභාවයෙන් යුතු වීම හේතුවෙන් නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් මෙය එක් පිළකට පන්දුවාර 49 බැගින් සීමා වූ තරගයක් ලෙස ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනු නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 9 දී බිඳ වැටුණි. ක්වින්ටන් ඩී කොක් ලකුණු 5 යි. නායක ෆෆ් ඩු ප්ලෙසිස් හා හෂීම් අම්ලා දෙවැනි කඩුල්ලට ලකුණු 50 ක සබඳතාවක් ගොඩනැගුවේ ය. නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 23 කට දැවී ගිය අතර හෂීම් අම්ලා 38 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේ ය. ඔහු ලකුණු 55 කට දැවී ගියේ ය. 6 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ රසී වැන්ඩර් ඩසෙන් නොදැවී ලකුණු 67 යි. ලොකී ෆර්ගසන් ලකුණු 59 ට කඩුලු 3 ක් දවා ගත්තේ ය. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 49 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241කි. අනතුරුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 12දී බිඳ වැටුණි. කෙසේ නමුත් එම කණ්ඩායමේ දෙවැනි කඩුල්ලට ශක්තිමත් සබඳතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් සමග එක් වූ නායක කේන් විලියම්සන් සමත් විය. ගප්ටිල් ලකුණු 35 යි. රොස් ටේලර් සහ ටොම් ලැතම් එක් ලකුණකට දැවී ගියේ ය. ජේම්ස් නීශම් ලකුණු 23යි. නායක කේන් විලියම්සන් සමග එක් වූ කොලින් ඩී ග්‍රැන්ඩ්හොම් 6 වැනි කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් ගොඩනැගුවේය. ලකුණු 60 ක් රැස් කළ ග්‍රැන්ඩ්හොම් වාර්තා කළේ, පස්වැනි එක්දින අර්ධ ශතකයයි. 12 වැනි එක්දින ශතකය වාර්තා කළ නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 106 ක් රැස් කර තිබේ. ඔවුන් තරගය ජය ගත්තේ පන්දුවාර 48 යි පන්දු 3කදී කඩුලු 6ක් දැවී සිටියදීයි. තරගයේ වීරයා නවසීලන්තයේ කේන් විලියම්සන්. ඒ අනුව තරගාවලියේ ලකුණු සටහනේ නැවත වරක් පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත් විය. සහභාගී වූ තරග 5 න් තරග 4 ක් ජය ගත් ඔවුන් ලබාගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 9 කි. මේ අතර සහභාගී වූ තරග 6 න් එක් තරගයක් පමණක් ජය ගත් දකුණු අප්‍රිකාව ලකුණු 3 ක් ලබා එම සටහනේ 8 වැනි ස්ථානයට පත් ව තිබේ.