ඉන්දු - අමෙරිකා වෙළෙඳ අර්බුදය තවත් උග්‍ර වන ලකුණු

නිපුණතා සහිත ශ්‍රමික වීසා කප්පාදුවෙන් ඉන්දු - අමෙරිකා වෙළෙඳ අර්බුදය තව ත් උග්‍ර වන ලකුණු

by Staff writer 20-06-2019 | 8:20 AM

News 1st - එච් වන් බී වීසා හෙවත් නිපුණතා සහිත ශ්‍රමිකයන්ට සිය රටේ සේවය කිරීමේ අවස්ථාව ලබාදෙන වීසා කප්පාදු කිරීමට අමෙරිකාව සූදානම් වේ.

ජනප්‍රිය එච් වන් බී වීසා ක්‍රමය යටතේ වාර්ෂිකව අමෙරිකාවට පැමිණෙන නිපුණතා සහිත විදේශීය ශ්‍රමිකයන් සංඛ්‍යාව සිය ගණනකි. වර්තමානයේ ඉන්, 70% ක්ම ලබාගන්නේ ඉන්දියානුවන් ය. අමෙරිකාව ඉන්දියාවට පවසා ඇත්තේ, විදේශීය ආයතනවලට සිය දත්ත දේශීයව ගබඩා කිරීමට බල කරන රටවල් සම්බන්ධයෙන් එම පියවර ගන්නා බවයි. දත්ත දේශීයකරණය ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලියේ අරමුණ දත්ත සම්බන්ධයෙන් සීමා පැනවීමෙන් ඒ සම්බන්ධ පාලනය සියතට ගෙන විදේශික සමාගම්වල බලය හීන කිරීමයි. දත්ත ගබඩාකිරීම සම්බන්ධයෙන් ඉන්දියාව මීට පෙර පැන වූ නව නීති, සුප්‍රකට අමෙරිකානු සමාගම් සහ අමෙරිකානු රජය කෝපයට පත් කිරීමට හේතු විය. අමෙරිකාවේ මෙම නව වීසා කප්පාදුව හමුවේ දත්ත ගබඩාකරන නීති අනුගමනය කරන රටවලට අමෙරිකාවෙන් නිකුත් කරන එච් වන් බී වීසා ප්‍රතිශතය 15% ක් පමණක් වනු ඇති. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙමගින් ඉන්දියාව විශාල වශයන් ප්‍රතිලාභ ලබන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මෙන්ම, අමෙරිකානු සේවාදායකයන්ට සේවය සැපයීමට මෙම වීසා ක්‍රමවේදය භාවිත කරන ආයතන දැඩි බලපෑමට ලක්වනු ඇති බවයි. මෙය ඉන්දියාව සහ අමෙරිකාව අතර වෙළෙඳාම සහ තීරුබදු සම්බන්ධයෙන් පවතින අර්බුදය තවදුරටත් උත්සන්න කිරීමට හේතුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ වෙතත් ඇතැමුන් පවසන්නේ, ගෝලීය දත්ත ගබඩාකරණ නීතිවලට එරෙහිව අමෙරිකාව ගත් මෙම පියවර හුදෙක් ඉන්දියාව ඉලක්ක කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් නොවන බවයි. අමෙරිකාව ඉන්දියාවට ලබාදුන් ජී.එස්.පී බදු සහනය ඉවත් කිරීමෙන් පසු ඉන්දියාව අමෙරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ඉහඝ තීරුබදු පැනවීමට පියවර ගත්තේ පසුගිය ඉරිදායි.