ජෙෆ්රි ජෝෂෆ්ට විදෙස්ගත වීමට දුන් අවසරය අත්හිටුවයි

ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස්ට විදෙස්ගත වීමට දී තිබූ අවසරය අත්හිටුවයි

by Staff writer 20-06-2019 | 3:57 PM
COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් මහතාට විදේශගත වීම සඳහා ලබා දී තිබූ අවසරය අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. ඒ, නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීමට අනුව ය. සිය දියණියකගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීම සඳහා ජුලි මස පළමු වන දා සිට 11 වන දා දක්වා සිංගප්පූරුව බලා යාමට ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් මහතාට පසුගිය 13 වන දා අධිකරණය අවසර ලබා දී තිබිණි. නීතිපතිවරයා සිය මෝසම මගින් අධිකරණයට පෙන්වා දුන්නේ, මෙම සැකකරු ඇතුළු සැකකරුවන් 10 දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමට කඩිනමින් ක්‍රියා කරන බව ය. එබැවින් නඩුවේ 5 වන සැකකාර ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් මහතාට විදේශගත වීමට අවසර ලබා දීමෙන් ඔහු අධිකරණය මගහැර සිටීමේ ප්‍රවණතාවක් පවතින බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට පෙන්වා දුන්නා ය. නඩුව ජුනි මස 28 වන දා දක්වා කල් තැබිණි.