අප්‍රේල් 21 ප්‍රහාරය: පරීක්ෂණ කඩිනම් කරන්න - ජනපති

අප්‍රේල් 21 ප්‍රහාරය: පරීක්ෂණ කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

by Staff writer 20-06-2019 | 4:54 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට අදාළ පරීක්ෂණ කඩිනම් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ. ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ, ත්‍රස්තවාදයට සම්බන්ධ නොවන සියලු දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ය. ජාතික ආරක්ෂක කමිටුව ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මෙම උපදෙස් දී තිබේ. රටේ ආරක්ෂක වැඩපිළිවෙළ, වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී ඇති අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ද සමාලෝචනය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ආගමික උත්සව සහ මහජන හමුවීම් පැවැත්වෙන ස්ථානවල ආරක්ෂාව සහතික කිරීමට අඛණ්ඩව පියවර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා ජාතික ආරක්ෂක කමිටුවේදී පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය ඇතුළු පක්ෂ විපක්ෂ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් පිරිසක් ද ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ද ජාතික ආරක්ෂක කමිටු රැස්වීමට සහභාගී වී තිබේ.