by Staff writer 20-06-2019 | 6:58 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග හා අපරාධ නීතිය අනුව පියවර ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරන නීතිපතිවරයා පවසන්නේ, අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ විශේෂ විමර්ශන කමිටු වාර්තාව පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට සුදුසු අපරාධ සහ විනය ක්‍රියාමාර්ග ගන්නැයි නිර්දේශ කර ඇති බව ය.
එම නිලධාරීන් අතරට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළත් ය.
ඒ, කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා, විශේෂ ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයායි.
මීට අමතරව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, කොළඹ උතුර පොලිස් අධිකාරීවරයා, මීගමුව - 3 භාර සහකාර පොලිස් අධිකාරීවරයා, මීගමුව - 4 භාර සහකාර පොලිස් අධිකාරීවරයා, මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා, කටාන පොලිස් ස්ථානාධිපතිවරයා, ජම්පටා පොලිස් මුරපොළ භාර ස්ථානාධිපතිවරයාට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබේ.
නීතිපතිවරයාගේ ලිපියේ දැක්වෙන්නේ, එම නිලධාරීන් අදාළ ප්‍රහාර වැළැක්වීමට හෝ අවම කිරීමට ක්‍රියාමාර්ග ගෙන නොමැති බැවින් අපරාධ පරීක්ෂණයක් සිදු කළ යුතු බව ය.
අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ මත අදාළ නිලධාරීන්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාතික පොලිස් කොමිසම වෙත ද යොමු කර තිබේ.