ගෝඨාභයට හෘද සැත්කමක්:නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

ගෝඨාභයට හෘද සැත්කමක්: ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

by Staff writer 19-06-2019 | 10:23 AM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 26 වන දා දක්වා කල් තබා තිබේ. ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ය. රාජපක්ෂ මහතා පසුගිය මැයි 31 වන දා සිංගප්පූරුවේදී හෘද සැත්කමක් සිදු කර ඇති බවත් පසුගිය 9 වන දා රෝහලෙන් නික්ම ගොස් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ය. ගෝඨාභය රාජපක්ෂ මහතාට සති 6ක කාලයක් පුනරුත්ථාපන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නිර්දේශ කර ඇති බැවින් සාක්ෂි විභාගය කල් තබන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව සාක්ෂි විභාගය ලබන මස 26 වන දා දක්වා කල් තැබූ විශේෂ මහාධිකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගත වීම සඳහා ලබා දී තිබූ කාලය ලබන මස 24 වන දා දක්වා දීර්ඝ කිරීමට නියෝග කළේ ය. නඩුවේ සාක්ෂිකරුවන් 4 දෙනෙකු අද දින අධිකරණය හමුවට ඉදිරිපත් වූ අතර ඔවුන්ට ලබන 26 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අවවාද කෙරිණි. නඩුවේ 9 වන සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කිරීමට ද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළේ ය. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයට අයත් රුපියල් තුන්කෝටි තිස් නව ලක්ෂයකට අධික මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අධිකරණයට ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වෛද්‍ය වාර්තාව පෞද්ගලික වාර්තාවක් බැවින් එය අධිකරණ රෙජිස්ටාර්වරයාගේ භාරයේ ආරක්ෂිත සේප්පුවේ රඳවා තබන ලෙස ය. ඒ අනුව අධිකරණය ඊට අවසර ලබා දෙමින් නියෝගයක් නිකුත් කළේ ය.