මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරේ

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරේ

by Staff writer 19-06-2019 | 1:35 PM
COLOMBO (News 1st) ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇතැයි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අද නිවේදනය කළේ ය. එම නිවේදනයේ දැක්වුණේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග ජපානයේ පැවැත්වෙන ජී.20 සමුළුවට සහභාගීවීමට සිදුවී ඇති බැවින් රාජ්‍ය ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇති බවයි. ලබන 24 වන දා සිට 30 වන දා අතර කාලය තුළ සැලසුම් කර තිබූ ආසියානු සංචාරය අතරතුර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණ. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වීම ගැන පොම්පියෝ මහතා කනගාටුව පළ කරන බවයි. ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික වර්ධනය සහ නිදහස්, විවෘත ඉන්දු- පැසිෆික් කලාපයක් සඳහා වූ කැපවීමට අදාළ හවුල්කාරිත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා ඉදිරි දිනක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඔහු අපේක්ෂා කරන බව ද තානාපති කාර්යාලය පවසයි. මේ අතර ඇමරිකාවේ වැඩ බලන ආරක්ෂක ලේකම් පැට්‍රික් ෂැනහන් මහතා සිය තනතුර ස්ථිර කර ගැනීමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසන්නේ ෂැනහන් මහතා හොඳින් සිය කාර්යය ඉටුකර ඇතත් ඔහු දැන් මේ තීරණය ගෙන ඇති බවයි. ෂැනහන් මහතා වෙනුවට යුද ලේකම් මාර්ක් එස්පර් මහතා නව වැඩ බලන ආරක්ෂක ලේකම් ලෙස පත්කෙරෙනු ඇති.