මන්ත්‍රීවරුන්ට සැප කාර්: සාගතයෙන් දරුවෙක් මරුට

විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන්ට කාර් ගන්න රු. බිලියන 5ක පරිපූරක ගෙන එද්දී හම්බන්තොට දරුවෙක් සාගතයෙන් මරුට

by Staff writer 18-06-2019 | 8:43 PM
COLOMBO (News 1st) - හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ගණන 07කි. නගර සභා, ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් ගණන සියයකට ආසන්නයි. මේ සියල්ල වගේම, රටේම මහජන නියෝජිතයින් ජනාධිපතිවරණ අපේක්ෂකයින් ගැන බල හුවාමාරු ගැන සිදු කරන වාද විවාද නම් කෙළවරක් නොමැත. ඒ වෙනුවෙන් වැය කරන කාලය හා ධනය දුගී දුප්පත් පවුලක හෙට දවස වෙනුවෙන් වෙන් කිරීමට හැකි වුණා නම් අද අප ඔබට මේ ප්‍රවෘත්තිය වාර්තා නොකර සිටීමට ඉඩ තිබිණි.
බන්දුල හරිස්චන්ද්‍ර‍ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් "දුක හිතන කාරණයක් වුණා. අපේ දිස්ත්‍රික්කයේ ළමයෙක් මැරිලා තිබුණා කන්න නැතුව බඩගින්නේ. ඒක වුණේ කොහොමද? ඒක ගැටලුවක්. මම කිව්වේ ඒ කොට්ඨාසයේ සමෘද්ධි නිලධාරියා, පවුල් සෞඛය සේවිකාව, ග්‍රාම නිලධාරියා මේ ආදී සෘජුව අපේ පාලනයට සම්බන්ධ වෙන හෝ වක්‍රව සම්බන්ධ වෙන නිලධාරීන් සියලුම දෙනා මේකට වගකියන්න ඕනේ. ඒ පෝෂණයක් නැති කමට මාස 11ක දරුවා මිය ගියාම පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තහවුරු කරලා සහතිකයක් දෙනවා මට, මෙහෙම ළමයෙක් මිය ගිහිල්ලා තියෙනවා ආහාර නැති කම නිසා. පෝෂණ ඌනතාවය නිසා. මම එකපාරට ඇහුවේ මේ පවුලට සමෘද්ධිය තිබුණද නැද්ද? ඒ පාර කිව්වා නැහැ සමෘද්ධිය නැහැ. ඇයි නැත්තේ? ඒ තාත්තගෙන් ඇහුවාම කියලා තියෙනවා නැහැ අපිට සමෘද්ධිය එපා කියලා. හැබැයි ඒගොල්ලෝ කල්පනා කරලා නැහැ තාත්තා සමෘද්ධිය එපැයි කියලා ඒ තාත්තාට තියෙනවා ඩිප්‍රෙෂන්. මානසික ආතතිය. මේ ඩිප්‍රෙෂන් තියෙන මනුස්සයාගෙන් අහන්නේ සමෘද්ධිය එපා ද නැද්ද කියලා. ඒකත් අපේ නිලධාරීන්ගේ වැරැද්දක්. එක සිද්ධියයි හැබැයි ඒකෙ ඇතුළේ මහ බරපතළ කතන්දරයක් තියෙනවා. මෙන්න මේවා තමයි අපි හොයන්න ඕනේ."
අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා මේ අනාවරණය කළේ, කාගේත් අවධානයට යොමු කිරීමේ අරමුණින් වන්නට ඇති. ඔහුගේ තොරතුරු අනුව මේ සිදුවීම සම්බන්ධයෙන් අපි සොයා බැලුවෙමු. හම්බන්තොට තිස්සමහාරාම විජයපුර ප්‍රදේශයේ පදිංචි මේ පවුල අපිට හමුවූණේ ඒ අනුව ය. මාස 11ක් වයසැති බිළිඳෙකු පසුගිය 14 වන දා ජීවිතක්ෂයට පත්ව තිබුණේ මන්දපෝෂණය හේතුවෙනි. දෙමාපියන් සිය බිළිඳාට නම් තබා තිබුණේ මලිත් මිහිරංග ලෙසයි. පාසල් වියේ පසුවන තවත් දරුවන් තිදෙනෙකු සමග ජීවත් වන මේ පවුල එක් වේලක් හෝ කුසගිනි නිවා ගන්නේ, මත්ස්‍ය වෙළෙඳාමෙන් ලැබෙන ආදායමෙනි. මෙවන් අගහිඟකම් පිරි පවුල් තවත් ඕනෑ තරම් රට තුළ ජීවත් විය හැකි ය. ඔවුන් පිළිබඳව නිසි සොයා බැලීමක් කරන්නට බලධාරීන් හා නිලධාරීන් අවංකව කැප නොවුණහොත්, හෙට දවසේත් මෙවන් පුවත් ඇසීමට සිදුවීම වැළැක්විය නොහැක්කකි.