රටේ අභ්‍යන්තරය අවුල් කරන සැලැස්මක්: අමෙරිකානු මැදිහත්වීම කොයිබටද?

by Staff writer 18-06-2019 | 10:19 PM
COLOMBO (News 1st) - ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේ කටයුතුවලට විදේශ මැදිහත්වීම් සිදු කරන බව අප අනාවරණය කළේ වසර කිහිපයකට පෙරයි. අප එදා කළ අනාවරණය අද පාර්ලිමේන්තුවේදී යළිත් තහවුරු විය. එහිදී හෙළි වූයේ අමෙරිකානු සමාගමකින් වැටුප් ලබන උපදේශකයෙකු කථානායකවරයාගේ සේවයට යොදවා ඇති බව ය. යහපාලනය ඇති කිරීමේ මුවාවෙන් කෙරෙන ප්‍රතිසංස්කරණවලට මුවාවී අමෙරිකානු සමාගමක් හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතියක් පිළිබඳව අප අනාවරණය කළේ 2017 වසරේ ජනවාරි 2 වන දා ය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හා වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 13ක් වැය කර ඩිවොල්ප්මන්ට් ඕල්ටර්නේටිව් ඉන් කෝපරේෂන් නමැති අමෙරිකානු සමාගම හරහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව අපි එහිදී පෙන්වා දුන්නෙමු. අප එහිදී පෙන්වා දුන්නේ, කථානායක කරු ජයසූරිය මහතා අතුළු මැති ඇමතිවරුන් පිරිසක් 2016 සැප්තැම්බර් මාසයේදී අමෙරිකාවේ සංචාරයක නිරත වෙමින් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සමග ඇති කර ගත් සම්මුතිය මත පදනම්ව එය ක්‍රියාවට නැගෙන බව ය. හෙයිටිය, ජොර්ජියාව, ඉරාකය, කොසෝවෝ, නේපාලය, මියන්මාරය, ඇෆ්ගනිස්ථානය, වැනි යුදමය හෝ දේශපාලන ගැටුම් සිදු වූ රටවල් ඇතුළු රටවල් 150ක පමණ මෙම සමාගම කටයුතු කර ඇතැයි එදා අපි වාර්තා කළෙමු. ඩිවොල්ප්මන්ට් ඕල්ටර්නේටිව් ඉන් කෝපරේෂන් සමාගමේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවස්ථා ගණනාවක ගැටලු මැතුවී ඇති බව ද එදා අප පෙන්වා දුන්නේ ය. වෙනිසුවේලාවේ හිටපු ජනාධිපති උගෝ චාවේස් සම්බන්ධව පළ කෙරුණු කෘතියක දැක්වුණේ, මෙම සමාගම සී.අයි.ඒ ඔත්තු සේවයේ එක් මුහුණුවරක් බව ය. මෙම සමාගම හරහා 2002 වසරේදී චාවේස් ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට ඩොලර් මිලියන ගණනක් වැය කළ බව එම කෘතියෙන් පෙන්වා දී තිබේ. මෙවැනි පසුබිමක් ඇති සමාගමක් යහපාලන ක්‍රියාවලිය ස්ථාපිත කිරීමට මැදිහත් කර ගැනීම පිළිබඳව එදා කථානායවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ සමාගම තෝරාගෙන ඇත්තේ අමෙරිකානු පාර්ලිමේන්තුවේ එරට ආධාර වැඩසටහන මගින් බව ය. එම සමාගම එදා පළ කර තිබුණේ ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීම, බලය විමධ්‍යගත කිරීම හා පළාත් පාලනය, රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ හා නීතිය සාධාරණත්වය හා රාජ්‍ය මුදල් කළමනාකරණය යන අංශවලට ඔවුන් මැදිහත් වන බව ය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හා වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා යැයි කියමින් මුලින්ම ඇති කළේ 19 වන සංශෝධනයයි. 2017 වසරේදී සිදු කළ මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් එම අරමුණ ඉටුකර ගැනීම කෙසේ වෙතත් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් නම් දැන් නිර්මාණය වී තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ කාර්යාල විවෘත කර විශාල මුදල් වැය කරමින් ක්‍රියාත්මක වන්නේ ද මෙම ව්‍යපෘතිය යටතේ ය. මෙවැනි විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හරහා විදෙස් බලවේග මෙරට පරිපාලනය අස්ථාවර කිරීම සඳහා මාර්ගය එළිපෙහෙළි කළ බව අද වන විට තහවුරු වී තිබේ. මෙය අමෙරිකාවේ ස්ථාවරය මෙන්ම උපාය මාර්ගය බව ද ලොව පුරා අමෙරිකානු මැදිහත් වීමෙන් හෝ ආක්‍රමණයෙන් කඩා වැටුණු රටවල් යළි ගොඩනැංවීම සඳහා ඩිවොල්ප්මන්ට් ඕල්ටර්නේටිව් ඉන් කෝපරේෂන් සමාගමට ව්‍යාපෘති භාර දීමෙන් පෙනී යන කරුණකි. මෙවැනි විදේශ සමාගම්වලින් වැටුප් ලබන නිලධාරීන් පත් කර ගනිමින් රට දේශපාලන ආර්ථික වශයෙන් අස්ථාවර කිරීම විදේශ බලවේග දරණ වෑයමේ ඉත්තන් බවට පත්ව සිටින්නේ ව්‍යවස්ථාදායකයේම නියෝජිතයින් වීම තවත් බරපතළ තත්ත්වයකි. දැනටමත් ඇක්සා, සෝෆා සහ මිලේනියම් චැලේන්ජ් එකඟතා හරහා ක්‍රියාවට නැගෙමින් තිබෙන්නේ අමෙරිකාවේ යටිපෙළ අරමුණ නොවේ ද? නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කළ ශ්‍රී ලංකාව මහින්ද රාජපක්ෂ පාලන සමයේ චීන හිතවාදී ප්‍රතිපත්තියක් හරහා විවිධ ව්‍යපෘති සමීප කර ගැනීමත් සමග අමෙරිකානු කඳවුරේ බලපෑම තීව්‍ර වීඇති බව නොරහසකි. මේ විදේශ බලපෑම්වල අවසාන අරමුණ කුමක් ද? රටේ ජනතාව විමසන්නේ එයයි. මේ අතර අමෙරිකානු හමුදා බලඇණි දහසක් මැද පෙරදිගට යවන බව පෙන්ටගනය අද නිවේදනය කළේ ය. අමෙරිකාව මේ පියවර ගත්තේ ඕමාන් බොක්ක ආසන්නයේ තෙල් නෞකා දෙකකට ප්‍ර‍හාර එල්ල වීමෙන් අනතුරුව ය. පසුගිය බ්‍රහස්පතින්දා මෙම නෞකා දෙකට ප්‍රහාර එල්ල වූ අතර, ඊට මසකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ ආසන්නයේදී තවත් නෞකා 4 ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල විය. බ්‍රහස්පතින්දා සිදු වූ ප්‍රහාරය ඉරානය සිදු කළ බව අමෙරිකාව කියා සිටියේ වීඩියෝ දර්ශන ද ප්‍රසිද්ධ කරමිනි. ඉරානය මෙම චෝදනා ප්‍ර‍තික්ෂේප කළ අතර අදාළ නෞකා හිමි ජපාන සමාගම ද අමෙරිකානු චෝදනාව පිළිනොගත්තේ ය. නමුත් අතිරේක හමුදා මැද පෙරදිගට යවමින් අමෙරිකානු ආරක්ෂ ලේකම් ප්‍රැට්‍රික් ෂැනහන් පැවසුවේ කලාපයේ ගුවන් නාවික හා භූමියේ ආරක්ෂාව තහවුරු කිරීම එහි අරමුණ බව ය.
වෛද්‍ය වසන්ත බණ්ඩාර - විධායක සමාජික ජාතික සංවිධාන එකමුතුව "අමෙරිකාව ලෝකයේ රටවල්වලට තමන්ගේ භූ දේශපාලන උවමනාවන් ඉටුකර ගැනීම සඳහා රටවල්වලට මැදිහත් වීමේදී විවිධ උපාංග පාවිච්චි කරනවා. එක අපිට හොඳටම පේනවා ඉරාකය, සිරියාව, ලිබියාව ඒ ආදි වශයෙන් ඒ රටවල්වලට ඇතුළත් වීමේදී අනුගමනය කරපු උපායමාර්ග දිහා බැලුවාම. සමහර අවස්ථාවල ඔවුන් විසින්ම යම් පහර දීමක් කරලා ඒක යොදා ගන්න අවස්ථාවල් තියෙනවා. අමෙරිකාව ඉරාකයේදී කළා වගේ හමුදාව ඉරානයට ඇතුල් වෙන්න මේක යොදා ගන්න බෙහෝ විට ඉඩ තියෙනවා."
මෙවැනි පසුබිමක් තුළ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයකට සැරසේ.