බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 7ක පහසු ජයක්

බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 7ක පහසු ජයක්

by Staff writer 18-06-2019 | 7:28 AM
2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඒ ලෝක කුසලාන තරගයකදී ලකුණු හඹා ගොස් ජයග්‍රහණය කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට ද හිමිකම් කියමිනි. ටෝන්ටන් හිදී පැවැති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 321 ක් රැස් කළේ ය. ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් ලකුණු රැස් කර ගැනීමට පෙර දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වූ අතර අනතුරුව පිටියට එක්වූ ශායි හෝප් සහා එවින් ලුවිස් කොදෙව් ඉණිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 116කි. එවින් ලුවිස් ලකුණු 70 ක් රැස් කළ අතර නිකොලස් පූරන් ලකුණූ 25 ක් රැස් කළහ. ශිම්රෝන් හෙට්මයර් පන්දු 25 කදී සිය අර්ධ ශතකය වාර්තා කළේ මෙවර ලෝක කුසලානයේ වේගවත්ම අර්ධ ශතකය ද වාර්තා කරමිනි. ශායි හෝප් ලකුණූ 96 ක් රැස් කළ අතර නායක ජේසන් හෝල්ඩර් ලකුණු 33 ක් රැස් කළේ ය. ඩැරන් බ්‍රාවෝ ලකුණු 19 යි. පන්දු යැවීමේදී මොහොමඩ් සයිෆූඩීන් සහා මුස්ටෆිසර් රහමාන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගිය අතර ශකීබ් අල් හසන් කඩුලු 2 ක් දවා ගත්හ. අනතුරුව ලකුණු 322ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන් ආරම්භයේ සිට ම කෙටි ලකුණු ලබා ගනිමින් හා දුර්වල පන්දුවලට පහර දෙමින් ලකුණු රැස් කිරීමේ යෙදිණ. බංග්ලාදේශ ඉණිමේ පළමු කඩුල්ල ලකුණු 52 දී බිඳ වැටුනද ටමීම් ඉක්බාල් සහ ශකිබ් අල් හසන් බංග්ලාදේශ ඉණිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ගෙඩනැගු සබදතාව ලකුණු 69කි. කෙසේ වෙතත් ටමීම් ඉක්බාල් ලකුණු 48කට දුවද්දී දැවී ගිය අතර මුෂ්ෆිකර් රහීම් ද එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියේ යළි තරගය දෙපිළටම විවෘත කරමිනි . කෙසේ නමුත් සිය අත්දැකීම් සහ දක්ෂතාවය මැනවින් උපයෝගී කරගත් ශකිබ් අල් හසන් මෙම තරගාවලියේ අඛන්ඩව වාර්තා කරන ලද දෙවන සහ තම එක්දින ජාත්‍යන්තර දිවියේ 09 වන ශතකය වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන යාමට සමත් වුණා. ඔහු ඊයේ දිනයේ එක්දින ජාත්‍යන්තර ලකුණු 6000 සීමාව පසු කිරීමට සමත් වූයේ අඩුම තරග සංඛ්‍යාවකදී කඩුලු 250 සහ ලකුණු 6000 සීමාව පසු කළ ක්‍රීඩකයා බවට වාර්තා පොත් අතරට එක්වෙමින්. බංගලාදේශය තරගයේ 42 වන පන්දු වාරයේදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළ අතර ඒ වනවිට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ශකිබ් අල් හසන් පන්දු 99කදී ලකුණු 124ක් සහ ලිටන් දාස් පන්දු 69කදී ලකුණු 94ක් රැස් කරගෙන සිටියහ. මෙම ජයග්‍රහණයත් සමග බංග්ලාදේශය මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පස් වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් විය.