ගොඩකවෙල රංවල ප්‍රාදේශීය රෝහල අකර්මන්‍ය වෙයි

වෛද්‍ය හිඟයෙන් ගොඩකවෙල රංවල ප්‍රාදේශීය රෝහල අකර්මන්‍ය වෙයි

by Staff writer 17-06-2019 | 10:44 PM

COLOMBO (News 1st) - වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් ගොඩකවෙල රංවල ප්‍රාදේශීය රෝහලේ සියලුම කාර්යයන් අකර්මන්‍ය වී තිබේ.

රංවල ප්‍රාදේශීය රෝහල වසර 50 කට වඩා පැරණි රෝහලකි. එම රෝහල ආරම්භයේදී වෛද්‍යවරුන් සිව්දෛනෙකු පමණ ‍රෝහලේ සේවය කරමින් සිට ඇති අතර මීට වසර 4 පමණ කාලයක සිට ප්‍රමාණවත් වෛද්‍යවරුන් සංඛ්‍යාවක් එහි සිට නොමැති බව වාර්තා වේ. එමෙන්ම රෝහලේ ආයතන භාර වෛද්‍යවරයා අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් මේ වනවිට නිවාඩු ලබාගෙන ඇති අතර රෝහලේ එකම වෛද්‍යවරියත් මේ වනවිට සිටින්නේ ගර්භනී නිවාඩු ලබාගෙනයි. මේ හේතුවෙන් එම රෝහලට දෛනිකව පැමිණෙන රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති අතර රෝගීන්ට ප්‍රතිකාර වෙනුවෙන් කිලෝමීටර් 10 ක් පමණ දුරින් පිහිටි පල්ලේබැද්ද සහ ගොඩකවෙල දිසා රෝහල්වලට ගමන් කිරීමට සිදුව තිබේ. එම රෝහල්වලට ගමන් කිරීමට පවතින මාර්ගය ද දැඩි අබලන් තත්ත්වයක පැවතීම මේ ජනතාව මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වය වඩාත් තීව්‍ර කරන්නකි. රංවල ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා රංවල, උඩරංවල, දෙල්වල කන්ද, නැකැත් වැලකඩ, මහෝමාර, අන්දවිල, කුඩාව, තලගස්කන්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය රෝහලට ස්ථිර වෛද්‍යවරයෙකු ලබාදෙන ලෙසයි.