ඉන්දීය කණ්ඩායමට ලකුණු 89ක ජයක්

පකිස්ථානයට එරෙහි තරගයේදී ඉන්දීය කණ්ඩායමට ලකුණු 89ක ජයක්

by Staff writer 17-06-2019 | 7:03 AM
COLOMBO (News 1st) : ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 22 වන තරගයෙන් පාකිස්ථානය පරදා ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් විය. මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේ ය. ඒ අනුව ඉන්දීය ඉණිම අරඹඹින් පිටියට පිවිසි රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල් ඔවුන්ගේ පලමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 136කි. ලොකේෂ් රාහුල් ලකුණු 57 යි. අනතුරුව පිටියට පිවිසි ඉන්දීය නායක විරාත් කෝලි සහා රෝහිත් ශර්මා ඉන්දීය ඉණිමේ දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 98 ක සබඳතාවත් ගොඩනැගූහ. රෝහිත් ශර්මා සිය 24 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය හා මෙම තරගාවලියේ වාර්තා කළ දෙවන ශතකයට හිමිකම් කියමින් පන්දු 113ක දී රැස් කල ලකුණුසංඛ්‍යාව 140කි. ඔහුගේ ඉනිම හතරේ පහර 13කින් හා හයේ පහර 3කින් වර්ණවත් විය. රෝහිත් ශර්මාට අනගි සහයක් ලබා දුන් විරාත් කෝලි පන්දු 65ක දී ලකුණු 77ක් වාර්තා කළ අතර ඔහු ඊයේ දිනයේද වාර්තා අතරට එක් වූයේ එක්දින ලකුණු 11000 පසු කළ ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙසයි. හර්දික් පාන්ඩ්‍යා ලකුණූ 26 ක් රැස් කල අතර නොදැවී කඩුල්ලේ රැදි සිටි විජේ ශන්කර් ලකුණූ 15 ක් රැස් කළේ ය. ඉන්දීය ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5 ක් දැවී රැස් කර ගත් ලකුණූ සංඛ්‍යාව 336 කි. පන්දු යැවීමේදී ඉන්දීය පිතිකරුවන් පාලනය කිරීමට සමත් වූ එකම පන්දු යවන්නා වූ මොහොමඩ් අමීර් කඩුලු 3ක් ලබා ගත් අතර හසන් අලි හා වාහබ් රියාස් එක් කඩුල්ල බැගින් දවා ගත්තේ ය. ඉන්දීය ඉනිම අග භාගයේ දී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වුව ද යළි තරගය ඉක්මනින් ආරම්භ කිරීමට හැකි වූ අතර පන්දුවාර සංඛ්‍යාව අඩු කිරීමේ අවශ්‍යතාවයක් ද එවර මතුනොවී ය. අනතුරුව ලකුණු 337ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්තානු ආරම්භක පිතිකරුවන්ට රිසි සේ පිත්ත හැසිරවීමට ඉන්දීය පන්දු යවන්නෝ අවස්ථාව ලබානොදුන්හ. බුවනේෂ්වර් කුමාර් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ පසු පන්දු යැවීමට පැමිණි විජේ ශන්කර් තමා යැවූ පළමු පන්දුවෙන්ම ලකුණු 7ක් ලබා සිටි ඉමාම් උල් හක් පිටියෙන් ඉවත් කිරීමට සමත් වීම විශේෂත්වයකි. ඉන්පසු ෆකාර් සමාන් හා පිටියේ එක් වූ බාබර් අසාම් දක්ෂ ලෙස පිතිකරණයේ යෙදෙමින් පාකිස්තානු ඉනිම ගොඩ ගැනීමට උත්සහ කළේ ජයග්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. අසාම් ලකුණු 48කට හා සමාන් ලකුණු 62කට දවා ගනිමින් පාකිස්තානු කණ්ඩායම වෙතින් තරගය ඉන්දීය කණ්ඩායම වෙත හරවා ගැනීමට කුල්දීප් යාදව් සමත් විය. ඉන්පසු ක්‍රියාත්මක වූ හර්දික් පාන්ඩ්‍යා, හෆීස් ලකුණු 9කට හා ෂොයිබ් මලික් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට සමත්වුයේ පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 129ක් බවට පත් කරමිනි. තරගයට අතරමැද දී ඇදහැලුණු වර්ෂාවෙන් බාධා එල්ල වීමෙන් පසු ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පාකිස්ථානයට පන්දුවාර 40ක දී ලකුණු 302ක ඉලක්කයක් හිමි විය. පන්දුවාර 40 අවසානයේ දී පාකිස්තානු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 212ක් පමණක් වූ අතර ඒ සමඟින් ඉන්දීය කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 89ක ජයක් හිමි විය. පන්දු යැවීමේ දී විජේ ශන්කර්, හර්ඩික් පාන්ඩ්‍යා හා කුල්දීප් යාදව් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.