හිටපු LTTE සාමාජිකයින් තිදෙනෙකුට අධිචෝදනා

හිටපු LTTE සාමාජිකයින් 3කට එරෙහිව වවුනියා මහාධිකරණය හමුවේ අධිචෝදනා

by Staff writer 16-06-2019 | 6:28 PM
COLOMBO (News 1st) : හිටපු LTTE සාමාජිකයින් තිදෙනෙකුට එරෙහිව වවුනියාව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. නඩුව ලබන 24 වන දා සිට විභාගයට ගැනීමට නියමිතයි. LTTE භාරයේ සිටි නාවික හමුදා සාමාජිකයින් 18 දෙනෙකු, හමුදා සාමාජිකයින් 8 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 26 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර , සිරුරු හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පුළුස්සා දමා තිබුණේ 2009 වසරේ ජනවාරි 26 වන දිනයි. ඒ යුද පරාජයන් හමුවේ මුලතිව් , පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි බුද්ධි කඳවුර අතහැර දමා යන අවස්ථාවේදීයි. මෙම යුද සිරකරුවන් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ 2010 වසරේදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කළේ ය. දීර්ඝ විමර්ශනයකින් අනතුර මෙම යුද සිරකරුවන් ඝාතනය කිරීමට අණ දුන් සහ වෙඩි තබන ලද සැකකරුවන් තිදෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ අනුව එම විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන 24 වන දා වවුනියාව මහාධිකරණය හමුවේදී විභාගයට ගැනීමට නියමිතයි. විත්තිකරුවෝ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.