by Staff writer 16-06-2019 | 12:18 PM
COLOMBO (News 1st) - පන් ලක්ෂයකට අධික විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ලබන මස සිට ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මේ යටතේ 2015 දෙසැම්බර් 31 වැනි දාට පෙර විශ්‍රාම ගත් විශ්‍රාමිකයින්ට අවමය රුපියල් 2,800 සිට උපරිමය රුපියල් 20,000 දක්වා මුදලකින් විශ්‍රාම වැටුප වැඩිවන බවයි.
මේ අනුව කාර්යාල කාර්ය සහායක පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයෙකුගේ වැටුප් රුපියල් 2,800 කින් ඉහළ යනු ඇති.
කළමණාකාර සහකාර පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයෙකුට රුපියල් පන්දහස් දෙසියයකින් පමණ විශ්‍රාම වැටුප් වැඩිවීමක් මේ යටතේ හිමිවේ.
ගුරු සේවයේ පළමු ශ්‍රේණියේ විශ්‍රාම වැටුප රුපියල් 9200 කින් ඉහළ යන අතර විශ්‍රාමික පළමු ශ්‍රේණියේ හෙද නිලධාරී වැටුප රුපියල් 7100 කින් ඉහළ යන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.
විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ වැටුප රුපියල් 4200 කින් ඉහළ යනු ඇති.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකුගේ විශ්‍රාම වැටුප රුපියල් 16,000 කින් ඉහළ යන අතර 2015 දෙසැම්බර් 31 ට පෙර විශ්‍රාම ගත් අමාත්‍යාංශ ලේකම්වරයකුගේ විශ්‍රාම වැටුප රුපියල් 20,000 කින් ඉහළ යන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.
විශ්‍රාම වැටුප් සංශෝධනයත් සමග 5 (2015) චක්‍රලේඛය යටතේ විශ්‍රාමික සේවකයින් සඳහා වැටුප් විෂමතා ඉවත් වනතුරු ගෙවන ලද රුපියල් 3500 අන්තර් දීමනාව නව වැටුප් ව්‍යුහයට ඇතුලත් කෙරෙන අතර රුපියල් 3525 ක ජීවන වියදම් දීමනාව තවදුරටත් හිමිවනු ඇති.
මුදල් අමාත්‍යාංශය පැවසුවේ, මෙම විශ්‍රාම වැටුප් වැඩි කිරීම සඳහා රජයේ අයවැය මගින් රුපියල් මිලියන 12,000 ක් වෙන්කර ඇති බවයි.