ඉන්දියා - අමෙරිකා වෙළෙඳ ගැටුම

අමෙරිකානු භාණ්ඩ 28 කට ඉන්දියාවෙන් තීරු බදු

by Staff writer 16-06-2019 | 8:53 AM

News 1st - අමෙරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 28 ක් සඳහා නව තීරු බදු පැනවීමට ඉන්දියාව තීරණය කර තිබේ.

ඒ, ඉන්දියාවෙන් ආනයනය කෙරෙන වානේ, ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ සඳහා පැන වූ තීරු බදු ඉවත් කිරීම අමෙරිකාව ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිචාර ලෙසයි. මේ අනුව අමෙරිකාවෙන් ආනයනය කෙරෙන ආමන්ඩ්, ඇපල් ඇතුළු නිෂ්පාදන 28 කට ඉන්දියාව 70% ක බදු පනවනු ඇති. ඉන්දීය මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, එය හෙට සිට ක්‍රියාත්මක බවයි. ඉන්දියාවට ලබාදෙන ජී.එස්.පී හෙවත් වරණීය තීරු බදු සහනය අවසන් කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා නිවේදනය කළේ ය. අමෙරිකානු ජී.එස්.පී බදු සහනය බුක්ති විදින ලද විශාලතම රට ඉන්දියාවයි. ඒ යටතේ ඩොලර් බිලියන 5.6 ක භාණ්ඩ, තීරු බදු සහන යටතේ අමෙරිකාවට ආනයනය කෙරිණි. කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප්ගේ දැඩි තීරණවලට ප්‍රතිචාර ලෙස ඉන්දියාව පනවා ඇති නව තීරු බදු සමග දෙරට අතර වෙළෙඳ යුද්ධය උත්සන්න වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසති.