75 වන බ්‍රැඩ්බි පළිහ තරගාවලියේ ජය රාජකීයයන්ට

75 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික රග්බි තරගාවලියේ ජය රාජකීයයන්ට

by Staff writer 15-06-2019 | 6:14 PM
COLOMBO (News 1st) - කොළඹ රාජකීය විද්‍යාලය 75 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික රග්බි තරගය ජය ගත්තේ ය. රාජකීයයන්ට පරාජය වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායමයි. මෙරට පාසල් අතර පැවැත්වෙන ප්‍රධානතම රග්බි තරගය වන මෙය අදියර දෙකකින් සමන්විත වේ. පසුගියදා මහනුවර පල්ලේකැළේදී පැවැති පළමු අදියරින් ලකුණු 34ට 17ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය ජය වාර්තා කළ අතර දෙවැනි අදියර අද පැවැත්වුණේ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී ය. පළමු අර්ධය අවසන් වන විට ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායම ලකුණු 12ට 3ක් ලෙස ඉදිරියෙන් සිටි අතර දෙවැනි අර්ධයේදීත් ඔවුහු ලකුණු 12ක් රැස් කළහ. රාජකීය කණ්ඩායම එම අර්ධයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 10කි. ත්‍රිත්ව කණ්ඩායම එම අදියර ලකුණු 24ට 13ක් ලෙස ජය ගත් නමුත්, බ්‍රැඩ්බි පළිහ හිමි වන්නේ අදියර දෙකම අවසානයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරන කණ්ඩායමට ය. රාජකීය විද්‍යාලය ලකුණු 47ක් රැස් කර තිබූ අතර ත්‍රිත්ව කණ්ඩායම ලකුණු 41ක් රැස් කර තිබිණි. ඒ අනුව අදියර දෙකෙන්ම වැඩි ලකුණු ලබා ගත් කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමට මෙවර බ්‍රැඩ්බි පළිහ හිමි විය. රාජකීයයන් එම පළිහ දිනා ගත්තේ 34 වන වරට ය.