ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගය අද යි

ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියාව අද ලෝක කුසලාන තරග පිටියට

by Staff writer 15-06-2019 | 10:20 AM

News 1st - ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගය ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලැබෙන වාර්තා පවසන්නේ ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. ඔහු ඊයේ පැවැති පුහුණු සැසියට ද සහභාගී විය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඊයේ මාධ්‍ය හමුවේ පැවසුවේ, පුද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකාවට පැමිණි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නැවතත් කණ්ඩායම සමග එක්වන බවයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගවල කඩුලු 50 සීමාව පසු කළ ලොව සිව්වැනි පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක්වීමට මාලිංගට තව ත් කඩුලු 4 ක් අවශ්‍යව තිබේ. මේ අතර ආබාධයකට ලක් වූ ඔස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රීඩක මාකස් ස්ටොයිනීස් තවමත් යථා තත්ත්වයට පත්ව නැත. ඔස්ට්‍රේලියා කණ්ඩායමෙන් ලැබෙන වාර්තා පවසන්නේ අද දිනයේදී ඔවුන් වේග පන්දු යවන්නන් සිව්දෙනෙක් යොදා ගැනීමට සූදානම් බවයි. මෙම කණ්ඩායම් දෙක අවසන් වරට කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී තරගයකට සහභාගී වූයේ 2013 වසරේ චැම්පියන්ස් කුසලාන තරගාවලියේදීයි. එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 20ක ජයක් වාර්තා කළේ ය. අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිත වේ. මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය කාර්ඩිෆ්හිදී අද පැවැත්වේ. දිවා රාත්‍රී තරගයක් වන මෙය මෙරට වේලාවෙන් සවස 6.00 ට ආරම්භ වීමට නියමිතයි.