කෝටි 2කට අධික හෙරොයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

රු. කෝටි 2කට අධික හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සීදුවෙන් හා රද්දොළුගමෙන් හමුවේ

by Staff writer 15-06-2019 | 5:57 PM
COLOMBO (News 1st) - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සීදුව හා රද්දොළුගම ප්‍රදේශවල ක්‍රියාත්මක කළ වැටලීමකින් රුපියල් කෝටි 2කට අධික වටිනාකමින් යුත් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් දෙකක්, ගංජා කිලෝග්‍රෑම් 12ක්, එක්ට්‍රසි වර්ගයේ මත් පෙති 500ක් හා පිස්තෝලයක් හා උණ්ඩ 7ක් සොයා ගත් බව ය. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් ලක්ෂයකට අධික මුදලක් ද සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සීදුව කුස්වල මාර්ගයේ රබර්වත්ත හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 521ක් සමග ඊයේ සවස එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව රද්දොළුගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී සෙසු මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් කඳාන සහ රද්දොළුගම ප්‍රදේශවල පදිංචි 29 හැවිරිදි සහ 32 හැවිරිදි පුද්ගලයින් බව පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබා ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.