අමෙරිකාවෙන් ඉන්දියාවට බලපෑම්

රුසියානු මිසයිල නාශක පද්ධතියක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාවෙන් ඉන්දියාවට බලපෑම්

by Staff writer 15-06-2019 | 9:17 PM
(News 1st) - නවදිල්ලිය S - 400 වර්ගයේ රුසියානු මිසයිල නාශක පද්ධතිය මිලදී ගන්නේ නම් අමෙරිකාව හා ඉන්දියාව අතර සහයෝගීතාවට එය බාධාවක් විය හැකි බව ට්‍රම්ප් පරිපාලනය අද ඉන්දියාවට දැනුම් දී තිබේ. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, ඉන්දියාවේ යුදමය කටයුතු සඳහා නව යුද තාක්ෂණයෙන් සමන්විතව සහය දීමට අමෙරිකාවට පූර්ණ හැකියාව පවතින බව ය. නමුත් නවදිල්ලිය රුසියාවෙන් මිසයිල නාශක පද්ධතියක් මිලදී ගන්නේ නම් එය මෙකී සහයෝගීතාවට බාධාවක් බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. ට්‍රම්ප් පරිපාලනය මෙලෙස අනතුරු ඇඟවීමක් සිදු කරන්නේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර වැඩබලන සහකාර ලේකම් තානාපති ඇලිස් වේල්ස් මහත්මිය මේ සම්බන්ධයෙන් පසුගියදා අදහස් පළ කිරීමෙන් පසුව ය. කෙසේ වෙතත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ප්‍රකාශක හා කැනඩා හා දකුණු කොරියාවේ හිටපු ඉන්දීය තානාපති විෂ්ණු ප්‍රකාශ් පවසන්නේ, ට්‍රම්ප් පරිපාලනය ඉන්දියාව දෙස බැලිය යුත්තේ පාර්ශවකරුවෙකු ලෙස මිස ඔවුන් යටතේ ඇති රටක් ලෙස නොවන බව ය. ඉන්දියාව අමෙරිකානු ඩොලර් බිලියන 18ක් වටිනා අමෙරිකානු ආරක්ෂක උපකරණ මිලදී ගෙන ඇති බවත්, ඒ ආකාරයෙන්ම රුසියානු මිසයිල නාශක පද්ධතිය ද මිලදී ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. වෙනත් රටක් ඉන්දියාව කළ යුතු දේට මග පෙන්වීම නුසුදුසු බව ද ඔහු සඳහන් කළේ ය. මීට පෙර තුර්කිය රුසියානු මිසයිල් නාශක පද්ධතියක් මිලදී ගැනීමට සූදානම් වන මොහොතේදී අමෙරිකාව මේ ආකාරයේම අනතුරු ඇඟවීමක් සිදු කළේ ය. නමුත් තුර්කිය අද වන විටත් සිටින ස්ථාවරය වන්නේ, ඔවුන් S - 400 වර්ගයේ රුසියානු මිසයිල නාශක පද්ධතිය මිලදී ගන්නා බව ය.