"රතු නිවේදනයට අනුව ත්‍රස්තයින් අත්අඩංගුවට ගත්තා"

රතු නිවේදනයට අනුව අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයින් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව Interpol කියයි

by Staff writer 15-06-2019 | 3:55 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් මැදි පෙරදිග රාජ්‍යයකදී ප්‍රධාන ත්‍රස්ත කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ තමන් රතු වරෙන්තුවක් නිවේදනය කිරීමෙන් අනතුරුව බව ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය පවසයි. විමර්ශන සඳහා සහය දැක්වීම යටතේ මෙම රතු නිවේදනය නිකුත් කළ බව ඉන්ටර්පෝල් ආයතනය සඳහන් කළේ ය. ජාත්‍යන්තර පොලීසිය සඳහන් කළේ, ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව විමර්ශනවලට සහය වීම සඳහා තමන් හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් දිවයිනට එවූ බව ය. මැද පෙරදිගදී අත්අඩංගුවට ගත් අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් නමැති මෙම සැකකරු ඇතුළු 5 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ දිවයිනට රැගෙන එනු ලැබී ය. ජාත්‍යන්තර පොලීසිය පවසන්නේ, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ශ්‍රී ලංකාවට උදර්පනය කිරීම දැනට ක්‍රියාත්මක විමර්ශන සඳහා වැදගත් පියවරක් බව ය. ඒ සඳහා සහයෝගය දැක්වීමට හැකිවීම පිළිබඳව සතුටු වන බව ජාත්‍යන්තර පොලීසියේ මහ ලේකම් යර්ගන් ස්ටොක් මහතා සඳහන් කළේ ය.