අද සහ හෙට දිවයිනේ සියලු සුරාසැල් වසා දැමේ

පොසොන් උත්සවය වෙනුවෙන් අද සහ හෙට සියලු සුරාසැල් වසා දැමේ

by Staff writer 15-06-2019 | 7:00 AM

COLOMBO (News 1st) - ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් පොසොන් උත්සවය සමරන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

සබ්බේ තසන්ථ දණ්ඩස්ස (සියලු සත්ත්වයෝ දඬුවමට බියවෙති) යන්න මෙවර පොසොන් තේමා පාඨයයි. අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසුවේ, ලබන 18 වැනි දා දක්වා ක්‍රියාත්මක පොසොන් සතිය තුළ රජයේ සියලුම ආයතනවල සහ ගොඩනැගිලිවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමටත් පොසොන් සැරසිලිවලින් අලංකාර කිරීමටත් පියවර ගෙන ඇති බවයි. සියලුම අන්‍යාගමිකයින්ගේ සහයෝගය ලැබෙන පරිදි සහ ආගමික සංහිඳියාව වර්ධනය වන ආකාරයට සියලුම ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් පොසොන් උත්සව පවත්වන ලෙසට සියලු නිලධාරීන්ට උපදෙස් දී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේ ය. තවද පොසොන් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසීය. මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් අද සහ හෙට දිනයන්හිදී දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අළෙවිය නැවැත්වීමටද, සත්ත්ව ඝාතනාගාර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමටත් පියවර ගෙන ඇති බවයි. එසේම අද සහ හෙට දිනයන්හිදී මස් මාංශ අළෙවි සැල් වසා තැබීමටත් සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අළෙවිය නැවැත්වීමටත් තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒ සඳහා පොලිස් නිලධාරීන් 4000 කට අධික පිරිසක් යොදවා ඇති බවයි. අනුරාධපුර හා මිහින්තලේ නගරවල රථ වාහන ගාල් කිරීම සඳහා විශේෂ ස්ථාන වෙන්කර ඇතැයිද ඔහු පැවසුවා. අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රදේශවලට පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ, අනාරක්ෂිත ස්ථානවලින් දිය නෑමෙන් වළකින ලෙසයි. පොසොන් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒකාබද්ධව අනුරාධපුර හා මිහින්තලයට දක්වා විශේෂ ප්‍රවාහන සේවාවක් ද ආරම්භ කර තිබේ.